පාතාල අපරාධකරුවන්ට ගිනි අවි කුලියට ලබාදීමේ ජාවාරමක නිරතව සිටි බව කියන සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකු අත්අඩංගුවටගත් කොළඹ අපරාධ කොට්ඨාශය එම සෙබලාගෙන් හෙළිවූ තොරතුරු මත ටී 56 ගිනි අවි දෙකක් සොයාගෙන ඇත.
තවත් ගිනි අවි කිහිපයක් ගැන තොරතුරු හෙළිවී ඇති බැවින් එම ගිනි අවි සොයා විමර්ශන ආරම්භකර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
මෙම සිවිල් ආරක්ෂක බලකා සෙබලා වැලිකන්දේ පදිංචිකරුවෙකි. ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය රැදී සිටි ස්ථානයක තිබී යුද සමයේ තමාට ගිනි අවි කිහිපයක් ලැබුණු බවය. එම ගිනි අවි ඔහු විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇති බවද අනාවරණය වී තිබේ. වැලිකන්දේ ඔහු පදිංචිව සිටි නිවසේ තිබී සොයාගෙන ඇත්තේ ඔහු කුලියට ලhබාදී ඇතැයි සැකකරන ගිනි අවියයි.
ඊට අමතරව මෙම සිවිල් ආරක්ෂක බලකා නියාමක විසින් වැලිකන්දේ ගංජා ජාවාරම්කරුවෙකුට රුපියල් ලක්ෂ 02කට අලෙවිකර තිබුණු ටී 56 ගිනි අවියක්ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සොයාගෙන ඇත. වැලිඔයදී ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ගිනි අවිය සොයාගෙන ඇත.
සිවිල් ආරක්ෂක බලකා නියාමක දින 90ක් රදවා ගැනීමේ නියෝගමත රදවාගෙන විමර්ශන පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.