හොර පාරෙන් මෙරටට රැගෙන එන වාහන සහ කොටස් එකලස්කර නීති විරෝධි ලෙස සකස් කරන වාහන මෝටර් රථ හොර පාරෙන් ලියාපදිංචි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතනයක හිටපු මන්ත්‍රීවරයකුගේ පියෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගත්තේය.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේ ඔහු විසින් ට්‍රැක්ටර් අංකයකින් ධාවනය කළ ජිප් රථයක් අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයකින් හෙළිවූ තොරතුරු මතය.
නීති විරෝධිව මෙරටට ගෙන එන වාහන සිය පුතාගේ දේශපාලන බලය යොදාගෙන මෙම මන්ත්‍රී පියා කාලයක් තිස්සේ ව්‍යාජ අංකයන් යටතේ ලියාපදිංචිකිරීමේ ජාවාරමක නිරතව සිට ඇති බව ද විමර්ශන වලින් පෙනී ගිය බව වලන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් පසුගිය දෙසැම්බර් 26 වෙනිදා මීරිගම පොලිස් බල ප්‍රදේශයේදි රුපියල් කෝටි 1 ½ ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ලෑන්ඩ්කෘෂර් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මීරිගමදි අත්අඩංගුවට ගෙන මීරිගම පොලිස් ස්ථානට ඉදිරිපත් කිරීමෙන් පසු සිදු කරන ලද වැඩිදුර විමර්ශණවලදි මන්ත්‍රීවරයාගේ පියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගන්නා ලද ජීප් රථයේ මුල් ලියාපදිංචි අයිතිකරු හා දෙවන ලියාපදිංචි අයිතිකරුකොළඹ සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි බවට ව්‍යාජ ලිපිනයන් හා පුද්ගල නාමයන් භාවිතා කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ජීප් රථය ලියාපදිංචි කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් 2023 වසරේදී කඩවත ප්‍රදේශයේ කළ වැටලීමකදී නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ වාහන හා වාහන කොටස් එකලස්කර සකස්කළ වාහන 400කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචිකළ අංක සහිත ලේඛනයක් සොයාගෙන තිබුණි. ඒ මෙම වාහන ඡාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගනිමින් ඔහුගෙන් හෙළිවූ තොරතුරු මතය. එම ප්‍රධාන ජාවාරම්කරුගේ සහෝදරයා වන්නේ මෙම සැකකරු බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කළේය.
රජය මඟින් ක්‍රියාවට නංවා ඇති Clan Sri Lanka ව්‍යාපෘතිය යටතේ ආර්ථික ස්ථායිකරණයට දායක වෙමින් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ජයලත් පොලිස් සැරයන් 428 ජයලාල්, පොලිස් කොස්තාපල් 84889 උදයකුමාර,94009 සියන්ත, 99411 දේශාන්, 100291 ලසිත, පොලිස් කොස්තාපල් රියදුරු 89631 අබේරත්න යන නිලධාරීන් කණ්ඩායම විසින් මෙම වැටලීම සිදු කර ඇත.