fbpx
තවත්
    මුල් පිටුවspecialසමුද්‍රීය දූෂණයෙන් පස්වැනි තැන සිටින රටක් පාඩම් ඉගෙන ගන්නේ කවදා ද?

    සමුද්‍රීය දූෂණයෙන් පස්වැනි තැන සිටින රටක් පාඩම් ඉගෙන ගන්නේ කවදා ද?

    අද ලෝක සාගර දිනයයි. මිනිසාගේ ජීවය රදා පැවැතීමටත් පෘතුවියේ පැවැත්ම තීරණය වීමේ ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේත් සාගරයයි. අදවන විට සාගර දූෂණය පරිසරවේදීන්ගේ දැඩි කථාබහකට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව හමාරය. සාගර දූෂණය කොතරම් ඉහළ ගොස් ඇතැයි සදහන් කළහොත් මෙක්සිකෝව තරම් විශාල ප්ලාස්ටික්වලින් සැදුණු දූපත් පවා මේ වන විට සාගරයේ දකින්නට ලැබෙන බව විද්‍යාඥයන් සදහන් කරති. අපේ සාගර කලාපයේ ලංකාවට කිට්ටු ප්‍රදේශවලට ප්ලාස්ටික් එකතුවීමෙන් නිර්මාණය වන දූපත් නැතුවාම නොවේ. සාගර දූෂණය අතින් අපේ රටද ඉන්නේ හොද තැනක නොවේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න පවා අපේ රටේ සාගර පරිසරයට මේ වන විට එල්ලකර ඇත්තේ සුළුපටු හානියක් නොවේ. අපේ සාගර කලාපයට දැවැන්ත හානියක් කල මේ නෞකා ගින්න ගැන සමාජයේ දැඩි කථාබහක් සිදුවන්නේ “නිව් ඩයමන්“ තෙල් නෞකවේ ගින්න මෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නද පාලනය කිරීමට අපට හැකියාවක් නොලැබුනේ ඇයිදැයි කියාය. එසේ වී නම් සාගර කලාපයට මෙතරම් හානියක් සිදු නොවන බවට වූ තර්ක විතර්ද බොහෝය.

    මෙම ගින්නත් සමග බොහෝ අය අර්ථකථනය කරන්නට ගෙන ඇත්තේ අපේ රටේ සාගර කලාපයේ මෙවැනි භයානක නෞකා අනතුරු සිදුව ඇත්තේ නිව් ඩයමන් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පමණක් බවය.

    එදා නිව් ඩයමන් නෞකාව ගිනි ගැනීමට ලක්වනවාත් සමග අපේ සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ගැඹුරු දියඹ දක්වාම ඒ නෞකාව ඇදගෙන යන්නට වග බලා ගත්තේ ගින්න නිවා දමන ගමන්ය. ඒ යම් විටක එම නෞකා ගින්න මැඩපැවැතවීමට නොහැකිව එහි ප්‍රවාහනය කරමින් තිබුණු බොරතෙල් අපේ සාගර කලාපය දූෂණය වීමෙන් සිදුවන පරිසර හානිය අවමකර ගන්නටය.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන්ද මුල් අවස්තාවේදී අපිට එවන් පියවරක් ගැනීමට ඇතිතරම් කාලය තිබුණත් එවන් දෙයක් සිදුවූ බවක් නම් පෙනෙන්නට නොවීය. එදා නිව් ඩයමන් නෞකාවේ ගින්න හටගැනීම වාර්තා වීමත් සමග එම ගින්න නිවීම සදහා ඒ සදහා විශේෂඥ දැනුමක් ඇති සහ පහසුකම් ඇති ඉන්දියාවේ සහය ලබාගත්තද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවාදැමීමට අපි මුල් අවස්ථාවේ සිටම නිසි ක්‍රමවේදයන් අනුගමනය කලේද යන්න පිළුබදව මේ වන විට ඇත්තේ විවාදාත්මක තත්වයකි. ඉන්දියාවට අපි කථාකරන්නේද දුමක් ලෙස තිබුණු ගින්න නෞකාවපුරා ව්‍යාප්තව මහා ගිනි ජාලාවක් ලෙස ඇවිලී යමින් තිබියදීය.

    දැන් බොහෝ අය කියන්නට පටන්ගෙන ඇත්තේ මෙවන් නෞකා අනතුරක් අපිට ආගන්තුක බවකි. මෑත ඉතිහාසයේ කොළඹ වරායේ බහලුම් අංගනයක ගොඩගසා තිබුණු මේ ආකාරයේම රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් ගිනි ගෙන මුළු වරායම අනාරක්ෂිත වූ බව අපි අමතක නොකල යුතුය. එදා මුළු කොළඹ නගරයම දුමාරයෙන් වැසී ගිය අතර වරාය ගිනි , කොළඹ මහා නගර සභාව, නාවික හමුදා මෙන්ම ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකක එම ගින්න මැඩ පැවැත්වීමට දැවැන්ත වෙහෙසක් ගනු ලැබුවේ පැය 12 කට වඩා වැඩි කාලයක් ගත කරමිනි. එම ගින්න ඇවිලී ගියේ නම් එදා කොළඹ වරායේ සිදුවන්නේ මහා විනාශයකි. අද එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කර ඇත්තේද මහා විනාශයකි. ඒ අපිට ආරක්ෂක පියවර කොතෙකුත් ගැනීමට ඉඩ තිබියදීය.

    මෙම නෞකාව ගිනි ගන්නා අවස්ථාවේදීම ඒ ගැන අපේ රටේ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් වන බලධාරියා වන සමුද්‍රීීය ආරක්ෂණ අධිකාරිය දැනුවත් කළේදැයි ඇත්තේ ද තවමත් ගැටළුවකි. සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය මෙරට ස්ථාපිත කෙරෙන්නේ සමුද්‍රීය පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන්ම බව අමතක නොකල යුතු කරුණකි.

    අපි කථාකරන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන පමණක් වූවත් අපේ සාගර කලාපයේ මෑත කාලයේ මෙවන් අනතුරුවලට ලක්වූ පළමු හා එකම නෞකාව එක්ප්‍රස් පර්ලි පමණක් නොව. 2006 වසරේදී කොග්ගල වෙරළ තීරයේ සිට මුහුදු සැතපුම් 09 ක් දුරකදී මුහුදුබත් වූ “අමනාත් ෂා“ නෞකාවෙන් වෙරළ තීරයට එල්ලවුණු බලපෑම අද බොහෝ දෙනෙකුට අමතකව ගොසිනි. මියන්මාරයේ සිට බංගලාදේශය බලා යාත්‍රාකරමින් තිබුණු එම නෞකාව ගාල්ල වරාය වෙත යාත්‍රාකරන්නේ ගැඹුරු සාගරයේදී සිදුවූ අනතුරක් හේතුවෙනි. නෞකාව ගිලී යන්නේ ගාල්ල වරාය වෙත යාත්‍රා කරමින් තිබියදීය. එම නෞකාවේ ඉන්දන ටොන් 176 ක් තිබුණු බව කියැවිණි. නෞකාව මුහුදුබත්වීමත් සමග සාගරයට එක්වූ එම ඉන්ධන අපේ රටේ සංචාරකයන්ගේ සිත්ගත් සුන්දර වෙරළ තීරයක් වූ කොග්ගල වෙරළ වෙත ගලා එන්නට ගත්තේ දැවැන්ත පාරිසරික විනාශයකට අත වනමිනි. එකල ඒ ගැන නිසි අවබෝධයක් නොමැති වූ බැවින් බලධාරීන් සිටියේ නිහඩවය. එහෙත් ගාල්ල අනුලා දේවි විද්‍යාලයේ එකල 11 වැනි පත්තියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සමුද්‍ර සංගමයේ සිටි ජී. සෞභාග්‍යා ශිෂ්‍යාවට 2006 සැත්තැම්බර් 07 වෙනිදා කොග්ගල වෙරලේ නිරීක්ෂණය වූ තෙල් පැල්ලමක් ගැන බලධාරීන් දැනුවත් කරමින් හඩ නැගුවාය. ඒ නොවන්නට එදා කොග්ගල වෙරළ තීරය අනතුරට ලක්වූ නෞකාවෙන් පිටවූ ඉන්ධන වලින් විනාශයට පත්වනු ඇත. එදා දින 13 තිස්සේ වෙරළ ආරක්ෂා කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබුණි.

    එම අනතුරින් වසරක් යන්නට මත්තෙන් තවත් නෞකාවක් 2007 අගෝස්තු 02 වෙනිදා අපේ සාගර කලාපයේදී අනතුරට ලක්විය. ඒ “මැරිනා සෙඩිනා“ නැමැති නෞකාවය. සිංගප්පූරුවේ සිට ඊජිප්තුව බලා එම නෞකාව යාත්‍රාකරන්නට වූයේ බත්තලක් මත “ස්කෝපියන් ඩෙජරයක්“ද ඇදගෙනය.

    ඒ යන අතරතුර කැළඹිලි සහගත අයහපත් කාලගුණික තත්වයක් හේතුවෙන් මේ නෞකාව හා බත්තල එදා එකිනෙ ගැටී අනතුරක් සිදුවී තිබුණි. ආසන්නතම වරාය වූගේ ගාල්ලයි. කපිතාන් වරයා මේ අනතුර ගැන වරාය බලධාරීන් දැනුවත්කරමින් නෞකාව ගාල්ල වරයා වෙත යාත්‍රා කරන්නට ගත්තේය. නෞකාව නිරුපද්‍රිතව ගාල්ල වරයාට ඇතුළුකලද වරායේ දියකඩනයේ බත්තල ගැටෙන්නේ “ස්කෝපියන් ඩෙජරය“ට හානි ගෙන දෙමිනි.

    මැරීනා සෙඩ්නා නැව

    මෙහිදී මෙරට බලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වූයේ “ස්කෝපියන් ඩෙජරයේ “ ඇති ඉන්ධන ගැනය. ඒ අයහපත් කාලගුණික තත්වය හමුවේ ස්කෝපියන් ඩෙජරයේ ඇති ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් වෙරළට දැඩි බලපෑමක් එල්ලවන්නට ඉඩ ඇති බැවිණි.

    ඒ ගැන විමසීමේදී කපිතාන්වරයා දැනුම් දෙන්නේ එහි ඇත්තේ ඉන්ධන ලීටර් 100 ක් පමණක් බවය. එහෙත් එය පිළිගත හැකි පිළිතුරක් නොවීය. ඔහු බොරුවක් කරන බව වටහාගත් බලධාරීන් දිගින් දිගටම කපිතාන්ගෙන් ප්‍රශ්න කරන විට ලීටර් 100 ක් ඇතැයි කී ඉන්ධන ප්‍රමාණය ටොන් 100 ක් බවට පත්විය. එදා කපිතාන්ගේ ප්‍රකාශය විශ්වා කළේ නම් අපේ රටේ අමිල සම්පතක් වන “බොනවිස්ටා“ කොරල්පරයට විශාල හානියක් වීමට තිබුණු ඉඩකඩ බොහෝය. කෙසේ වෙවතත් එදා බලධාරීන් පැය 24 පුරාම දින තුනක් තිස්සේ එම “ස්කෝපියන් ඩෙජරයේ“ තිබුණු ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවේ සහය ඇතිව දින තුනක් පුරාවට බවුසර් 15 කට පුරවා වෙරළට සිදුවන්නට ඉඩ තිබුණු මහා විනාශයක් ශූන්‍ය කළේය. ඊජිප්තු නෞකා සමාගමෙන් ඒ වෙනුවට අපිට ලැබෙන්නේ ඊට වැයවුණු රුපියල් ලක්ෂ 18 ක මුදලක් පමණි.

    අපේ වෙරළ තීරයේ සිදුවුණු දැවැන්තම සහ විනාශකකාරී මහා භයානක නෞකා අනතුර ලෙස සැලකෙන්නේ “ග්‍රෑන්ඩ්බා“ නෞකා අනතුරය. අද අපේ රටේ බොහෝ අයට එවන් නෞකා අනතුරක් සිදුවූ බව මතකයේ ද නැති ගානය. ඒ ගැන යම් මතකයක්වත් තිබුණි නම් “එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් අපේ රටේ වෙරළට සහ සාගරයට සිදුවූ මහා විනාශය මේ තරමට සිදුවන්නේ නැත.

    එම නෞකා අනතුර සිදුවන්නේ 2009 වසරේදීය. ග්‍රෑන්ඩ්බා නෞකාව ඉන්දියාවේ එක් වරායකින් සල්පියුරික් අම්ලය ටොන් 6250 ක් පටවාගෙන යාත්‍රාකරමින් තිබුනේ ශ්‍රී ලංකාව වටා ගොස් ඉන්දියාවේ තවත් වරායක් වෙතය. ගමන් මග වැටී තිබුණේ ශ්‍රී ලංකා සාගර කලාපය හරහාය.

    මේ ගමනේදී ශ්‍රී ලංකාවේ ත්‍රීකුණාමලයට ආසන්න පුහුදු සාගර සීමාවේදී නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබුණු සල්පියුරික් අම්ලය බහා තිබූ එක් බහලුමක කාන්දුවක් සිදුවනු නෞකා කාර්ය මණ්ඩලය නිරීක්ෂනය කළේය. තවදුරටත් නෞකාව ගමනාන්තය වෙත යාත්‍රා කිරීම අනතුරුදායක බව නෞකා කාර්ය මණ්ඩලය වටහාගත් බැවින් ආසන්නතම වරාය වූ ත්‍රීකුණාමලයට කිට්ටුකර පාවුලු පොයින්ට් සිට නාවික සැතපුම් 06 ක් ඈතින් නැංගුරම් ලෑවේය. ඒ වන විට අපේ රටේ ආාරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් මෙම නෞකාව නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක්වූයේ අධිආරක්ෂිත කලාපයකට නෞකාව නැංගුරම් ලෑ ප්‍රදේශය අයත් වූ බැවිණි. ඒ නිසාම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරීක්ෂාවට නෞකාව ලක්වූ අතර එහිදී පෙනී යන්නේ නෞකාවේ සල්පියුරික් අම්ල කාන්දුව භයානක තත්වයක පවතින බවකි. එබැවින් නාවික හමුදාව මුලින්ම කරන්නේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉක්මනින්ම නෞකාවෙන් ඉවත්කිරීමට පියවර ගැනීමය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට වහාම නෞකාව ගැන දැනුම් දීමටද ඒත් එක්කම නාවික හමුදාව පියවර ගන්නේ සමුද්‍රීය ආරක්ෂාවේ බලධාරීන් වන්නේ එම ආයතනය වන බැවිණි. ඒ අනුව එම අධිකාරියේ නිලධාරීන් වහාම එම නෞකාව වෙත ගොස් කරනු ලැබූ පරීක්ෂාවේදී පෙනී යන්නේ සල්පියුරික් අම්ල කාන්දුව තෙල් විසිරීමකදී මෙන් නොව, ජලය , වාතය හා අනෙකුත් ලෝහ කොටස් සමග විවිධ ප්‍රතික්‍රියා ඇති කරවන බවය. එවන් ප්‍රතික්‍රියා දැවැන්ත හානි ගෙන දෙන්නක් මෙන්ම එලෙස සිදුවන ප්‍රතිචක්‍රීකරණයෙන් අහිතකර වායූන් වායුගෝලයට එකතුවීමේ ඉඩකඩක් ඇති බවද අධිකාරියේ නිලධාරීන් තක්ෂේරු කළේය. ඒ තුළින් වෙරළ ආශිත පරිසර පද්ධතියට මෙන්ම වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විශාල බලපෑමක් එල්ලවනු ඇතැයි පෙනී යාම හේතුවෙන් අධිකාරියේ අවසාන තීරණය දැනුම් දෙන්නේ මෙම නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම වඩාත් සුදුසු බවය.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න සම්බන්ධයෙන් සම්ද්‍රීය පරීසර ආරක්ෂණ අධිකාරිය මෙවන් ආරක්ෂක පියවර ගැනීමට අවශ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේදැයි තවමත් පැහැදිලි නැත. රසායනික ද්‍රව්‍ය නැතිනම් අන්තරාකාරී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවක ඇතිවන ගින්නක් හෝ රසායනික කාන්දුවක් සම්බන්ධයෙන් සිදුවන පරිසර විනාශය ගැන සහ එවන් අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ දැයි පැහැදිලි දැනුමක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පැවැති බව මෙයට වඩා හොද උදාහරණයක් නැති තරම්ය.

    මෙම නෞකාව සම්බන්ධයෙන් සමුදීය පරිසර ආරක්ෂණ අධිකාරිය නෞකා සමාගමට දැනුම් දෙන්නේ හානිය අවම කර ගැනීමට ගැඹුරු මුහුදේදී වෙනත් නෞකාවකට එහි ඇති සල්ෆියුරික් අම්ල පොම්ප කිරීමබ වඩාත් සුදුසු බවය. ඒ වන විටත් සල්ෆියුරික් අම්ලය කාන්දු වෙමින් පැවැති බැවින් නාවික හමුදාවේත් ත්‍රීකුණාමල වරාය බලධාරීන්ගේත් සහය ඇතිව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වහාම ක්‍රියාත්මක වෙමින් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යනු ලැබුවේය. ඒ මඩකලපුවේ සිට මුහුදු සැතපුම් 56 ක් ඈතකටය. එදා ඒ නෞකාව මුහුදු බත් වන්නේ අපේ සමුද්‍ර පද්ධිතියට සිදුවන්නට තිබුණු විශාල විනාශයක් කල්වේලා ඇතිව නිසි තීරණ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිණි. එදා ඒ මෙහෙයුම් වන්දිය ගණනය කර තිබුණේ රුපියල් මිලියන 15.6 ක් ලෙසිණි.

    ග්‍රැන්ඩ්බා නෞකාව සම්බන්ධයෙන් පමණක් නොව, නිව් ඩයමන් නෞකාව ගිනි ගන්නා විටද අපේ රටේ සමුද්‍රීය පරිසර ආරක්ෂාව වෙනුවෙන් ගිනි ගනිමින් තිබියදී එම ඉන්ධන නෞකාව පවා ගැඹුරු මුහුදට ඇදගෙන යන්නට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් මත ක්‍රියාත්මක විය. එසේ තිබියදීත් එක්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගනිද්දී එය ගැඹුරු මුහුදට රැගෙන ගොස් මේ සිදුවූ හානිය වලක්වා ගැනීමට ක්‍රියා නොකලේ ඇයි දැයි ඇත්තේ සැබවින්ම ගැටළුවකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.