දහහත් හැවිරිදි වියේ පසුවන පාසල් දැරිවියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් වැලිමඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 59ක් වන මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000ක ශාරීර ඇප මත මුදාහැර තිබේ.
මෙම අපරාධය සිදුව ඇතැයි පැවසෙන්නේ පසුගිය 02 වෙනිදාය.
අතවරයට ලක්වූ බව කියන දියතලාවේ පදිංචි 17 හැවිරිදි සිසුවියගේ මව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී කාර්යාලයේ සේවයේ නිරත සිවිල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක් බව පොලීසිය සඳහන් කරයි.
වැලිමඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්වන විට සේවයේ නිරතව සිට ඇත්තේ බණ්ඩාරවෙල පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාශ ප්‍රජා පොලිස් ඒකකයේ ය.
මෙම නිලධාරියා පසුගිය 02 දා පොලිස් නිල ඇදුමින් සැරසී පොලිස් ත්‍රීරෝද රථයෙන් දියතලාව තන්තිරිය හන්දිය අසලට ගොස් දැරිවිය එම ස්ථානයට ගෙන්වාගෙන අතවරකර ඇති බව ඇය දියතලාව පොලිස් ස්ථානයට පැමිණිලිකරමින් සඳහන් කර තිබේ. එම පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.