දේශීය ගොවියා ආරක්ෂා කරමින් පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීම අරමුණු කරගෙන අර්තාපල් සඳහා ක්‍රියාත්මක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද එලෙසම පවත්වාගෙන යාමට සහ ලොකු ළුණු සඳහා පැවැති වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් පහත හෙළීමට ද රජය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇතිවන පරිදි, කෙටිකාලින පියවරක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය පසුගිය නොවැම්බර් මස 30 දායින් අවසන් වීමට නියමිතව තිබූ අතර අර්තාපල් සඳහා දැනට ක්‍රියාත්මක විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ නියමය එලෙසම 2024 දෙසැම්බර් මස 31 දින දක්වා පවත්වාගෙන යනු ඇත.
ලොකු ළූණු සඳහා පැවති රුපියල් 30 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වා අඩුකර 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාත්මක කිරීමටත්, ඉදිරියේ දී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ඒ සඳහා සුදුසු නීතිමය විධිවිධාන යටතේ කටයුතු කිරීමටත් පියවර ගෙන තිබේ.
දේශීය අර්තාපල් සහ ලොකු ළූණු ගොවීන්ට තම නිෂ්පාදනයන්හි පිරිවැය ආවරණය වන සාධාරණ මිලක් ලබා ගැනීමට හැකිවන පරිදි, ආනයනය කරනු ලබන අර්තාපල් කිලෝ ග්‍රෑම් 1 ක් සඳහා එතෙක් පැවති රුපියල් 50.00 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 60.00 ක් දක්වාත්, ආනයනික ලොකු ළූණු කිලෝ ග්‍රෑම් 1 ක් සඳහා රුපියල් 10.00 ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් සංශෝධනය කිරීම සුදුසු බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කරන ලද නිර්දේශයන් ද පදනම් කරගෙන, ආනයනික අර්තාපල් සහ ආනයනික ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක් සඳහා පිලිවෙලින් රුපියල් 60.00 ක් සහ රුපියල් 30.00 ක් වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් 2024 ඔක්තෝම්බර් මස 03 දින සිට නොවැම්බර් මස 30 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියම කරන ලදී.
එම නියමය 2024 ඔක්තෝබර් මස 02 දිනැති අංක 2404/19 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව එම ගැසට් නිවේදනයේ වලංගු කාලය 2024 නොවැම්බර් මස 30 දිනයෙන් අවසන් විය. මේ වනවිට ලොකු ළූණු වෙළඳ පළ මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් නිරීක්ෂණය වන අතර, පවතින කාලගුණික තත්ත්වය මත සහ සෑම වර්ෂයකම එළඹෙන උත්සව සමය මුල්කරගෙන අර්තාපල් ඇතුළු අනෙකුත් එළවළු මිල ඉහළයාමට ඇති ප්‍රවණතාවයක් දක්නට ඇත.
මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් කර ඇති නිර්දේශයන් පිළිබඳව සලකා බලා ආනයනය කරනු ලබන අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 60 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද එලෙසම පවත්වා ගැනීමටත්, ආනයනික ලොකු ළූණු සඳහා පැවති රුපියල් 30 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වා අඩු කිරීමටත් තීරණය කර, එම නියමය 2024 නොවැම්බර් මස 30 දිනැති අංක 2412/38 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබේ.
එම ගැසට් නිවේදනයේ සඳහන් නියමයන් එළඹෙන දෙසැම්බර් මස 01 වන දින සිට 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාත්මකව පවතින බවද මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.