fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර වට්ටන්න කුමන්ත්‍රණයක්!

    රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර වට්ටන්න කුමන්ත්‍රණයක්!

    spot_img

    · 2015 නැවතුණ තැනින් සංවර්ධනය පටන් ගන්නවා

    · අපි රාජ්‍ය වැටෙන්න දුන්නෙ නෑ. ආණ්ඩුව පස්සට ගත්තා

    · නැවත මේ රට ලොව සීඝ්‍රයෙන්ම සංවර්ධන කරන රට කරනවා

    රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාවට්ටන්න නැවත වතාවක් කුමන්ත්‍රණයක් පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

    2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දිවුලපිටිය නගරයේ දී (24) පැවැති ජනහමුවට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කළේය.

    එහිදී අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

    අපි අභියෝගවලට මුහුනදීපු දේශපාලන බලවේගයක්. ඒ වගේම කිසිඳු අභියෝගයක් මඟහැර නැහැ. 2005 දී ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව අපේ බලවේගය බාරගත්තා. ඒක අපි ජයග්‍රහණය කළා. ඒ වගේම දේශපාලනික වශයෙන් ලෝක ආර්ථික අවපාතයක් එදා පැමිණියා. ලෝකයේ දැවැන්ත ආර්ථික කඩා වැටෙන විටත් ඒ අතර ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය බවට පත්කරන්න එදා මහින්ද රාජපක්ෂ යුගයටත් මහින්ද චින්තනයටත් හැකියාව ලැබුණා. අපි 2015 දී පරාජයට පත්වුණා. එදා මේ රටට ආදරය කරන දේශපාලන බලවේගය යහපානය කියා චිත්‍රයක් මවාගෙන පරාජය කළා. එය පරාජය කළ පමණක් නොවෙයි රටේ අනන්‍යතාවය විනාශ කළා. අපි 2015 ට පෙර ස්වයං පෝෂණය වෙලා තිබුණා. මිනිසුන්ට තුන්වේල කන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. 2015 න් පසුව ඒ තත්ත්වය නැතිවුණා. අපි බලශක්තියෙන් අංග සම්පූර්ණ වෙලා තිබුණා. 2015 පසුව එක මෙගාවොට් එකක් හෝ විදුලිබල පද්ධතියට එක් කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා පටන් ගත්ත උමා ඔය, සාම්පූර් බලාගාරය අතරමඟ නතර කලා, ආර්ථිකය බලා සිටිය දී කඩා වැටුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වුණා. ත්‍රස්තවාදී බිය , පාසල මුරකරන බිය, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය අම්මා තාත්තාට ඇතිවුණා.

    අපි 2018 අපිව මහ පාරේ ඇවිද්දවනවා කිවුවා. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධාන ගතවීම නිසා අපි විශ්වාස කරන දේශීය චින්තනය සහ ප්‍රතිපත්ති ඒ දේශපාලන කඳවුරේ නැතිනිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවා. ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා පමණක් නොවෙයි එතනින් පසුව පැමිණි හැම මැතිවරණයක්ම අපි දිනුවා. කොවිඩ් 19 වසංගතය ආවා. ලෝකයේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. අපිටත් තිබ්බා මොන ප්‍රශ්න ආවත් අපි ආර්ථිකය හදනවා කියන තැනට වෙලා මිනිස්සුන්ට මැරෙන්න දීලා බලා ඉන්න. එන්නත් ටික ගේන්නේ නැතිව ලෝකයේ ඇතැම් රටවල් වගේ බලන් ඉන්න තිබුණා. නමුත් එදා ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැහැ කියලා. මිනිස්සු ජීවත්වන තැනට අපි වැඩකළා. අපි ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා. කුමන්ත්‍රණයක් ආවා නැවත වරක් මේ රටට ආදාරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න. ඒ අනුව අපේ ආණ්ඩුව වැටුණා. අපිට තීන්දු කරන්න තිබුණා රාජ්‍යය වට්ටනවා ද ආණ්ඩුව වට්ටනවා ද කියලා. අපි තීන්දු කළා ආණ්ඩුව අඩියක් පස්සට ගමු රාජ්‍යය ආරක්ෂා කරනවා කියලා. අද බංගලිදේශය වෙලා තිබෙන්නේ කුමක් ද ? රාජ්‍යය කඩන් වැටිලා. කවුරු පාලනය කළත් රාජ්‍යය කඩන් වැටිලා.

    අපි රාජ්‍යය වැටෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පස්සට ගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ අපි ආණ්ඩුවක් හැදුවා. අපි උපරිම සහාය ලබාදුන්නා. සමහර පෝලිම් ඉවත් වුණා. ඇතැම් පෝලිම් දික්වුණා. තෙල් පෝලිම ඉවත්වුණා. පාස්පෝට් පෝලිම දික්වුණා. අපි අලුත් පරම්පරාව බලාපොරොත්තු වන තැනට මේ රට රැගෙන යන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නූතන ප්‍රතිපත්ති අපි අනුගමනය කළයුතු වෙනවා. අපි විශ්වාස කරනවා මේ රට නවීකරණය කළයුතුයි කියලා. නවීකරණය වීම රාජ්‍ය සේවයෙන් අපි ආරම්භ කරන්න ඕන. රාජ්‍ය සේවකයාට ගෞරවයක් දෙන්න ඕන. අද සමහර දේශපාලාන නායකයෝ රාජ්‍ය සේවයට තිබෙන තැන බැලුවාම ඒ අයගේ අදහස් බැලුවාම පහත් කරලා කතා කරන විදිය බැලුවාම රාජ්‍ය සේවය නිසි ගෞරවය ලැබෙනවා ද නැද්ද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. අපේ වෘත්තීය සමිතිවලට සලකන විදිිය බැලුවාම මේ රටේ වැඩ කරන පංතියට සලකන ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කළේ ගෞරවාන්විත රාජ්‍ය සේවයක් වගේම වෘත්තීය සමිති ව්‍යාපාරයට ගරු කරන දේශපාලන බලවේගය අපි ආරක්ෂා කරන්න ඕන. අපි හැදිච්ච පදනම එතන. අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය තාක්ෂණයත් සමඟ බද්ධ වියයුතු වෙනවා.

    දරුවන් තවදුරටත් පාස්පෝට්, රියදුරු බලපත්‍රය, ජාතික හැදුනුම්පත ගන්න පෝලිමේ ගිය යුගය අවසන් කළයුතු වෙනවා. සැබෑ පෝලිම් යුගය අවසන් වන්නේ එවිටයි. 2018/2019 තෙල් පෝලිම සහ ගෑස් පෝලිම ඇතිවුණා. 2021 දී එවැන්නක් වුණා. ලෝක ආර්ථිකය සහ රටේ ආර්ථිකය සමඟ ඇතැම් දේ වෙනස් වෙනවා. නමුත් පාස්පෝට් පෝලිම ඇතිවෙන්න දෙන්න බැහැ. ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය ගන්න පෝලිම් හැදෙන්න දෙන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ විප්ලවයක් අපි කළයුතු වෙනවා. තාක්ෂණය සමඟ ඒ ක්‍රමවේදය අපි බද්ධ කළයුතු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ වැටුප රටේ උද්ධමනය සමඟ ගැලපිය යුතු වෙනවා. මැතිවරණ වේදිකාවේ මැතිවරණ පොරොන්දුවලට පඩි වැඩිකරන යුගය අවසන් කළයුතු වෙනවා. පසුගිය කාලයේ පඩි වැඩි කරන්න විදියක් නැහැ සල්ලි නැහැ කියූ අය 2025 සිට පඩි වැඩි කරන්න කතා කරනවා. පසුගිය කාලයේ විදුලිබිල අඩු කරන්නත් බැහැ කිවුවා සල්ලි නැහැ කියලා. 2025 සිට අඩු කරනවා. නමුත් අපි දේශපාලාන වේදිකාවේ දී රාජ්‍ය සේවක වැටුප තීන්දු කරන්න ඕනද. මැතිවරණයක් එනකල් රාජ්‍ය සේවකයා බලන් ඉන්න ඕනද පඩි වැඩිකර ගන්න. අපි ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා.

    කවුරු බලයට ආවත් කවදා මැතිවරණයක් තිබුණත් රටේ උද්ධමනයට සාපේක්ෂව මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ හා පුරවැසියන්ගේ ආදායම් වැඩි කළයුතු වෙනවා. ඒ නවීකරණය කරා අපේ රට රැගෙන යායුතු වෙනවා. එවැනි නවීකරණ ප්‍රතිපත්ති මාලාවක් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා. තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය, මැතිවරණ කාලයේ රැකියා ලක්ෂය, දහස ආදිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල දානවා. නමුත් රැකියා වැඩිකිරීමේ වැඩපිළිවෙල කුමක් ද ? අපි අදටත් විශ්වාස කරනවා මේ රටට ආයෝජකයන් ගේන්න ඕන. ඔවුන්ට සහන දියයුතු වෙනවා. ඒ අයට මේ රටට පැමිණ ආයෝජනයට අවශ්‍ය පරිසරය සැකසිය යුතු වෙනවා. ලෝක වෙළඳපල සමඟ නිෂ්පාදන පිරිවැය අඩුකරමින් අපිත් සමඟ හැප්පෙන අපේ වගේ ආයෝජන ගේන අනෙක් රටවලට සාපේක්ෂව අපේ රට ආකර්ෂණශීලී වියයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය නූතන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළයුතු වෙනවා. රැකියා ලක්ෂයක් නොවෙයි දස ලක්ෂයක් උත්පාදනය කරනවා. ඔබේ දරුවා වෙනුවෙන් ඊළඟ වසර පහ ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, නිෂ්පාදන ක්ෂේත්‍රය, සේවා ක්ෂේත්‍රයන්වල රැකියා ලක්ෂ 10 ක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි මේ රටේ යථාර්ථයක් බවට පත් කරනවා. ඒක අපේ වගකීමක්.

    ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අපි ළඟ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දේශපාලනික උවමනාවන් අපි ලග තිබෙනවා. මේ රටේ තරුණයන්ගේ ප්‍රශ්නයට අපි විසඳුමක් දියයුතු වෙනවා. ලෝක රැකියා වෙළඳපොලට බද්ධ වුණු අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් කරන්න කටයුතු කරනවා. රැකියා වෙළඳපලට සාපේක්ෂව රැකියා වෙළඳපලට අනුකූලව රැකියා ගතවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් අපි හදුන්වා දෙනවා. දරුවන්ට පුළුවන් රැකියා ගතවීම සදහා අධ්‍යාපනයට යනවා ද උසස් පෙළ කර උපාධියක් දක්වා යනවා ද යන්න තීන්දු කරන්න පුළුවන්. ඒ නිදහස අපි නිර්මාණය කරදිය යුතු වෙනවා. එක් පැත්තකින් නීතියේ ආධිපත්‍යය තරුණයන්, දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද සමාජය මුහුණපාලා තිබෙන ගැටළු බලන්න. අද ළමා අපචාර දෙස බැලුවාම, මිනී මැරුම් දෙස බැලුවිට දැවැන්ත බිඳවැටීමක් අපේ සමාජයේ තිබෙනවා. ඒ බිඳවැටුණු සමාජය ගොඩනැඟීමේ වගකීම ආණ්ඩුවකට තිබෙනවා. ඒ නිසා අපේ සංස්කෘතියට, ආගමට ගරු කරන සමාජයක් අපි ගොඩනඟන්න ඕන. දරුවා පන්සලෙන්, පල්ලියෙන් ඈත් කළා කියා, ආගම දහම විශ්වාස නොකරන දේශපාලන ප්‍රතිපත්ති රටේ ස්ථාපනය කළා කියා මේ රටේ සමාජය ගොඩනැගෙන්නේ නැහැ. ළමා අපචාර, කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා වගේම ඒවා ක්‍රියාත්මක වියයුතු වෙනවා.

    ඒ නිසා සමාජය ගොඩනඟන්න මේවා වැදගත් වෙනවා. සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනඟන්න අවශ්‍ය වෙනවා. එක් පැත්තකින් දෙමාපියන් තමන්ගේ ජීවිත කාලය තුළ හොද ආදායම් මාර්ගයක් උත්පාදනය කොට සතුටින් ජීවත් වන්නයි බලාපොරොත්තු වෙන්නේ. අම්මා, තාත්තාගේ බලාපොරාත්තුව දරුවාට හොදට උගන්වන්නයි. අධ්‍යාපනයට දරුවාගේ දැනුමට හා වෘත්තියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැතිනම් දුක්විඳිනවා පමණක් නොව දරුවා අපේක්ෂා කරන ආදායම් මාර්ගවලට යන්න නොහැකි වෙනවා. ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ගමේ ව්‍යාවසායකයා ආරක්ෂා කරනවා. අද බොහෝ අය ව්‍යවසායකයන් ගැන කතා කරනවා. මොකක් ද වැඩපිළිවෙල. මේ රටේ ග්‍රාමීය බැංකුව, සමූපකාර බැංකුව ශක්තිමත් කළයුතු වෙනවා. ඒ ග්‍රාමීය බැංකුව හරහා ව්‍යවසායකයන්ට අවශ්‍ය ආයෝජන ලබාදෙන්න කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. ගම තුළ අලුතින් රැකියා උත්පාදනය කරනවා පමණක් නොවෙයි ගම තුළ අලුත් ව්‍යවසායකයන් බිහි වෙනවා. දේශපාලනික වශයෙන් සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පරම්පරාවක් අපේ ගම්මාන තුළ බිහිවෙයි කියා විශ්වාස කරනවා. අපි දේශපාලනික වශයෙන් තීන්දු ගන්නවා.

    සමහර තීන්දු පෞද්ගලිකව ගන්නවා. සමහර අය තීන්දු ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නවා.ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්නා දේශාලඥයන් අපේ රටේ අඩුයි. අවංකව ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන තීන්දු ගන්න පිරිසක් අද මෙතන ඉන්නවා. ඒ පණිවුඩය ගමට ගෙනයන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ සංවර්ධනය නතරකළ තැනින් ඉදිරියට ගෙනයන්න නාමල් රාජපක්ෂ සූදානම් කිය පණිවුඩය ලබාදෙනවා. ඒක ගමයට ගෙනයන්න. අපේ ගම කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනඟන්න දේශීය අනන්‍යාතවය කේන්ද්‍ර කරගත් රටක් ගොඩනඟන්න මේ ජනතාව වෙනුවෙන් පෙළගැසුණු වැඩපිළිවෙලක් සමඟ මේ රට නැවත වරක් ලොව සීග්‍රයෙන් සංවර්ධනය වන රට බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රට ගොඩනඟන්න සූදානම්.

    ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ,

    හාමුදුරුවනේ රනිල් මහත්තයා පෝලිම් ඉවර කලා. ඒ නිසා රනිල්ගේ වේදිකාවට නැග්ගොත් හොඳයි නේද කියා මගෙන් ගොවියෙක් ඇසුවා. එදා රජෙක් නොමැති අවස්ථාවකට ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පළන්දවපු පරපුරේ අපි ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. යුද්ධය අවසන් කළ ආදරණීය නායාකයා මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නැහැ. මේ රට ආරක්ෂා කළේ ඔහුයි. යුද්ධය අවසන් කළේ රණවිරුවන් කියා ඇතැමුන් කියනවා. නායකයෝ කී දෙනෙක් හිටියා ද. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන්නා. මැයි 9 අරඟලය අපි දන්නවා. එදා යුද්ධය පවතින කාලයේ අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් ඝාතනය කළා. එදා මැයි 9 දා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරය තුළ මරා දමන්න ඇතැමුන් උත්සාහ කළා. ඒ වෙනුවෙන් විිශාල මුදලක් වියදම් කළා. නමුත් ජාතියේ වාසනාට මහින්ද රාජපක්ෂ මහතා එදා බේරුණා. නමුත් මේ සටන අපි කරන්නේ ජාතිය, ආගම, රට බේරා ගන්නටයි. එහෙම නැතිව ගෑස් ටැංකිය බේරා ගන්න නොවෙයි.

    විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා,

    අද අපේ කඳවුර වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ඉන්න්වා. නමුත් වරදාන, වරප්‍රසාද වෙනුවෙන් අපේ කඳවුරෙන් යන පිරිසකුත් ඉන්නවා. මේ මැතිවරණ කොට්ඨාශය ඵෙතිහාසික එකක්. වම නියෝජනය කළ දැවැන්තයින් මේ ආසනයේ ඉන්නවා. නමුත් ඒ අයගේ පවුල්වල විශාල පිරිසක් විවිධ වරප්‍රසාද වෙනුවෙන් වෙන්ව යන මොහොතක මම මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා. ස්වාභාවධර්මය එදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පුටුව දක්වා ගෙනාවා. අපි අසීරු අවස්ථාවල කටයුතු කරනවා. ඒ අභියෝග ජයගනිමින් අපි ඉදිරියට ගමන් කරනවා. 2015 වසරේ අපිට අත්වුණු ඉරණම කුමන්ත්‍රණයකින් සිදුවුණා. අදත් එවැනි කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා

    ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. දිවුලපිටියෙන් ඡන්ද 51000 ක් අපි එදා ලබාගත්තා. ඡන්ද 1600 ක් ලබාගත් රනිල් මහතා දිනවන්න කියා අපෙන් ඉල්ලනවා. ඒ නිසා අපි අපේ වැඩපිළිවෙල ඉදිරියට ගමන් කළයුතු වෙනවා.

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

    අද අපි එකතු වෙලා ඉන්නේ අපේ රට ඊළඟ අවුරුදු පහ බාරදෙන්නේ කාටද කියා තීන්දු ගන්නයි. අපේ රට සංවර්ධනය කිරීම, තරුණ තරුණියන්ට රැකියා ලබාදීම, ආර්ථික වර්ධනය ආදිය මෙහිදී තීරණය කළයුතු වෙනවා. 2015 වසරේ සිට 2019 වර්ෂය දක්වා මේ රටට අතිවූ ඉරණම අපි දන්නවා. එදා මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් නොවුණා නම් අද මේ ඉරණම අපේ රටට අත්වන්නේ නැහැ.අද ලෝකයේ ප්‍රවණතාවය තමයි තරුණ නායකයන්ට අවස්ථාව දීම, ඒ අනුව තායිලන්තය, ප්‍රංශය වගේ රටවල් ඒ ක්‍රමය අනුගමනය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහකතා මේ රට මෙහෙයවපු ආකාරයට නව තාක්ෂණය සමඟ රට මෙහෙයවන්න නාමල් රාජපක්ෂට අවස්ථාව තිබෙනවා.

    දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා,

    අපි අද නියෝජනය කරන්නේ මේ රට සංවර්ධනය කරන්න පියවර ගත්ත කායකයාගේ කඳවුරයි. මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාර ගන්නා විට අපේ ගමට තිබුනේ එක දුරකතනයයි. අපේ ගම්වලට දුරකතන තිබුනේ නැහැ. නමුත් 2005 වසරින් පසුව දුරකතන, වාහන පැමිණෙන ආර්ථිකයක් නිර්මාණය කළා. ජනතා විමුක්ති පෙරමුණ විසින් අපේ රටේ 60000 ක් තරුණ තරුණියන් මරා දැම්මා. ඔවුන්ගේ ප්‍රතිපත්තිය තවමත් වෙනස් වෙලා නැහැ. අරඟලයෙන් පසුව අපි නිහඩයි. නමුත් අපි දැන් කට ඇරිය යුතු වෙනවා. අපි නියෝජනය කරන්නේ මේ රට බේරාගත්ත නියකයාගේ පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තමන්ගේ ගුරුවරයාට වෙඩි කබා මරා දමනවා. නාමල් රාජපක්ෂ මහතා එළඹෙන 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නවා.

    .ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img