එළැඹෙන 2024 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමක් ලෙස, ප්‍රවීන කලාකාරිනියක වන කුමාරි මුණසිංහ මහත්මිය සමගි ජන බලවේගයට (SJB) නිල වශයෙන් සම්බන්ධ වී තිබේ.
ඇය, ප්‍රවීන රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන අතරම කලා ක්ෂේත්‍රෙය් ජනප්‍රිය රංගන, ගායන අංශවලින් නමක් තබා ඇති මාධවී වත්සලා, අකිල ධනුද්ධර, සජිත ඇන්තනි යන අයගේ මව ද වේ.
ඇය පක්ෂය සම්බන්ධවීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරය පිරිනමා ඇත.
මේ අතර මෙරට සිටි කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසු එතුමාගේ පවුලෙන් දේශපාලනයට පිවිසි පළමු පුද්ගලයා වන්නේ ද චංචලා ගුණවර්ධන මහත්මිය බව සමගි ජනබලවේගය පවසයි.
ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.