කහව පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි නීතීඥවරියකගේ සහ නියෝජ්‍ය බැංකු කළමනාකරුවෙකුගේ කාමරවලට හොරු පැන රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.
මෙම සොරකම් දෙකම සිදුව ඇත්තේ පසුගිය 03 වෙනිදා රාත්‍රී 10.00ත් 04 වෙනිදා අලුයම 6.30ත් අතර කාලයේදී බව පොලීසිය කියයි.
නීතීඥවරිය දෙහිවල පදිංචිකාරියකි. ඇය නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ දොරක් බිඳ ඊට ඇතුළු වූ අයෙක් ගමන් මල්ලෙහි තිබුණු රුපියල් ලක්ෂ 07කට ආසන්න මුදලක් සහ රන් වළල්ලක් සහ රිදී මුදුවක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි. මුදල් හා එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ඉක්මවන බව පොලීසිය සඳහන් කළේය.
නියෝජ්‍ය බැංකු කළමනාකරු කුරුණෑගල පදිංචිකරුවෙකි. පොලීසිය පවසනුයේ මෙම බැංකු කළමනාකරු රැදී සිටි හෝටල් කාමරයේ දොරක් බිඳ ඊට ඇතුළුවී ගමන් බෑගයේ තිබූ රුපියල් 65,000ක් සමග යුරෝ 100ක්ද නිල් මැණික් ගලක්ද සොරාගෙන ගොස් ඇති බවට බැංකු කළමනාකරු පොලීසියට පැමිණිලිකර ඇති බවය.