සිය සැමියා විසින් තමාට පහරදෙන බවට වූ අගමැති ආරක්ෂක අංශයක සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරියක් විසින් කළ පැමිණිල්ලක් විභාගකරන අවස්ථාවේදීදි ඇගේ සැමියා වන විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරයෙක් එඩේරමුල්ල පොලිස් ස්ථානය තුළදී ඇයට දිගින් දිගටම පහරදෙමින් පොලිස් ස්ථානය තුළ යකා නටා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (25) සවස් කාලයේදීය. මේ සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ සේවයේ නිරත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.
වත්තල ගොංගිතොට එක්සත් මාවතේ පදිංචිකාරියක් වන ඇය සැමියා විසින් තමාට පහරදෙන බවට වූ පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ පසුගිය 23 වෙනිදාය.
ඒ අනුව ඇයවත් ඇගේ සැමියාවත් එඩේරමුල්ල පොලීසියේ නිලධාරීන් විසින් කැදවා ඊයේ (25) පැමිණීල්ල විභාග කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පහරදීම සිදුව ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේදීය. බිරිඳට පහරදෙන පොලිස් කොස්තාපල්වරයා පාලනය කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දැඩි උත්සහයක් ගත්තද කලහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් ස්ථානයේ දේපොලවලටද හානි වී තිබේ.
පොලිස් ස්ථානයේ වූ විදුලි පංකාවක්, වී.පී.එන්. කාමරයේ වීදුරු ද මෙම නිලධාරියාගේ කලහාකාරී හැසිරීම හේතුවෙන් හානි වී ඇති බව පොලීසිය කියයි.
අත්අඩංගුවටගත් පොලිස් කොස්තාපල්වරයාව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේ ඉදිරිපත්කරන බව පොලීසිය කියයි.