මීගමුව තෙල්වත්ත හංදිය අසලදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථයක් නතරකර එම රථය පරීක්ෂාකරන මුවාවෙන් එහි තිබුණු රුපියල් ලක්ෂ 02ක මුදලක් සමඟ එම මෝටර් රථයේ ලියාපදිංචි පොත කොල්ලකෑ බුද්ධි අංශ නිලධාරියෙක් සහ වාහන බ්රෝකර්වරයෙක් මීගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
බුද්ධි අංශ නිලධාරියා පොලිස් සැරයන්වරයෙකි. මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව එම නිලධාරියා සේවයේ නිරතව සිටින අයෙක් බව මීගමුව පොලීසිය සඳහන් කළේය.
මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය 30 වෙනිදා රාත්රී කාලයේදීය. මේ සම්බන්ධයෙන් වාහනයේ හිමිකරු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් පවත්වා වාහන බ්රෝකර්වරයාව මුලින්ම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මිනුවන්ගොඩ වෑගොව්වේ පදිංචිකරුවෙක් වන එම වාහන බ්රෝකර්ගෙන් ප්රශ්න කිරීමේදී බුද්ධි අංශ නිලධාරියා ගැන තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව එම බුද්ධි අංශ නිලධාරියාව අත්අඩංගුවටගත් බව මීගමුව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.