තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති රනිල් එක කතාවකින් රටටම උත්තර දෙයි

    ජනපති රනිල් එක කතාවකින් රටටම උත්තර දෙයි

    • මහින්ද එක්ක වාඩිවෙන්නෙ ඇයි ? ප්‍රශ්නෙට රනිල් උත්තර දෙයි
    • චන්ද්‍රිකා එක්ක වාඩි උනාම ප්‍රශ්න අහන්නෙත් නෑලු
    • එදා ක්‍රිස්ටිනාගේ පණිවිඩේ ගෝඨාට ගිහිං දුන්න හැටි
    • විපක්ෂනායක රට බාරගත්තෙ නෑ. අනුර හොයගන්නත් නෑ
    • දවස් දෙකක් අගමැති කෙනෙක් හෙවුව වෙන රටවල් තියෙනවා ද?
    • ජනපති වෙන්න මහින්ද සහය දුන්නා. සජබෙන් කොටසකුත් ඡන්දෙ දුන්නා
    • අපි බෙදිලා ගහ මරාගෙන තියෙනවා. හැබැයි රටට අමාරුවෙලාවේ එකතු උනා
    • පොහොට්ටුවට බැඳෙන්නෙ නෑ! ඒ වගේම පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නෙත් නැහැ
    • ඊයේ රෑ මම හිටියෙ සජබෙ අය එක්ක මාව පන්නන්න කවුරුත් එහෙ නෑ
    • මට දොස් කිවුවත් ආර්ථිකය හදා තිබෙනවා. එතැනින් ඉදිරියට යා යුතුයි

    රට දියුණු කිරීමේ කාර්යයේදී චන්ද්‍රිකා කුමාරතුංග ද, මහින්ද රාජපක්ෂ ද නැතිනම් වෙනත් කණ්ඩායමක් ද යනුවෙන් පක්ෂ විපක්ෂ බේදයක් නොසලකා එක් වී වැඩ කිරීමට තමන් සූදානම් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) ප්‍රකාශ කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27 ක් පිරීම නිමිත්තෙන් කලුතර මහජන ක්‍රිඩාංගණයේ පැවති උත්සවයට එක් වෙමිනි.

    චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්ව දේශපාලනය කරද්දී හොද කියු අය මහින්ද රාජපක්ෂ සමග එක්වී වැඩ කරද්දී දොස් කියන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටුණු අගාධයෙන් රට ගොඩ නැගීමට පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම හොඳ සහායක් දුන් බව කීවේය.

    තමා එම උපදේශය එක්සත් ජාතික පක්ෂයට ද ලබා දී තිබෙන බව කී ජනාධිපතිවරයා එකට වැඩ කළ යුත්තේ තරුණයන්ට අනාගතයක් හැදීමේ අභියෝගය ජයගැනීම සඳහා බව අවධාරණය කළේය.

    කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේදී පැවති මෙම උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ,පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගී වූහ.

    රෝහිත අබේගුණවර්ධන මහතාගේ රෝහිත භාෂණ ග්‍රන්ථයද මෙහිදී එළිදැක්විණි.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    රෝහිතගේ මේ අවුරුදු විසිහත කටුක ජීවිතයක්. ඉදිරිය තවත් කටුක විය හැකියි. ඔහු මේ සියල්ලටම සාර්ථකව මුහුණ දී තිබෙනවා.

    කටුක තීරණ ගණනාවක් ගන්න තිබුණා.වසර දෙකකට පෙර මට සහයෝගය දීමත් එහෙම කටුක තීරණයක් වෙන්න ඇති. එතැන් සිට මට දුන් සහයෝගයට ස්තුති කළ යුතුයි.

    2002 වසරේදී මා රෝහිත මන්ත්‍රීතුමා හඳුනා ගත්තා.එකල මා අගමැති ලෙස කටයුතු කළා .එදා රෝහිත අපට හරි හිසරදයක් .නැගිටලා කෑ ගහනවා.හැබැයි ඔහු නැගී එන කෙනෙක් හැටියට මා දුටුවා. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ සිටියත් ඔහු එසේ ක්‍රියා කළා. ඔහු ඒ පුද්ගල ශක්තිය හැම විටම පෙන්නුවා. එතුමා පක්ෂයකට වුවමනා වටිනා පුද්ගලයෙක්. කට මෙන්ම ඇඟත් හිතත් තිබෙනවා. පක්ෂයක් ගෙනියන්න එවැනි අය අවශ්‍යයි.

    අද උදේ මා හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල රැස්වීමේ.එහිදී මා දුන් උපදේශයක් පොහොට්ටුවේ රැස්වීමේදීත් කියන්නම්.ලෝකෙ වෙනස් වෙනවා. අලුතින් හිතන්න. පැරණි දේශපාලනයේ හිරවෙන්න එපා. එතැනින් අපට ඉදිරියට යන්න පුළුවන්.

    රෝහිතගේ සේවය විපක්ෂයේ සිට මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටත් මා දැක තිබෙනවා. මේ සෙනඟ පැමිණ තිබෙන්නේ ඒ වෙනුවෙන්. ඔහු කිසිවිටක පලාතේ මිනිසුන් අමතක කළේ නැහැ.

    රෝහිත මහතාගේ උත්සවයට යනවාදැයි මාධ්‍යයෙන් ඇසුවා. මා එහි යන බව පැවසුවා. මහින්ද රාජපක්ෂ ගැන කියන්නේ කුමක්දැයි මාධ්‍ය මගෙන් ඇහුවා. ‘මේ එයාගේ 27 වැනි අවුරුද්ද නොව රෝහිතගේ අවුරුද්ද 27 වැනි අවුරුද්ද ” කියා මා කිව්වා.

    මහින්ද රාජපක්ෂ එක්ක එකට වාඩි වී කරන්නේ කුමක්දැයි හැමවිටම මගෙන් අහනවා. මම ඒකට පිළිතුරක් දෙන්නම්. මහින්ද සහ මම හිටියේ දෙපැත්තේ. එකට එකතු වුණේ නෑ. හැම විටම විරුද්ධව හිටියා. ඒ තිබුන සටන අලුතින් කියන්න අවශ්‍ය නැහැ. දැන් මම මෙතන ඉන්නේ ඇයි?චන්ද්‍රිකා මැතිනිය සමග ඊට වඩා සටනක් මට තිබුණා. චන්ද්‍රිකා මැතිනිය සමග එකට ඉන්න විට කවුරුවත් ප්‍රශ්න අසන්නේ නැහැ.

    2020 මැතිවරණයෙන් පසු කොරෝනා කාලයේ මේ රටේ තත්ත්වය කතා කරන්න අපට අවස්ථාව ලැබුණා. එමෙන්ම මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා සමගත් 2021 වසරේ නත්තල් සමයේ මා කතා කළා. ඇය මට ගෝඨාභය ජනාධිපතිට දෙන්නැයි පණිවිඩයක් ලබා දුන්නා.

    මා ඒක ගිහින් දුන්නා. මූල්‍ය අරමුදලට යන ලෙස මා එහිදී කිව්වා .මහින්ද ඒකට එකඟ වුණා.

    මට අවශ්‍ය වුණේ රට ගොඩ ගන්න. මුදල් වල වටිනාකම අඩු වෙනවාට මමත් කැමති වුණේ නැහැ.

    අපි කතා කරමින් සිටියා. ඒක රහසක් නොවේ. අප දේශපාලනයෙන් ඉවත්ව රට ගෙනයන්නේ කොහොමද කියා කතා වුණා. ගෝඨාභය ජනපති එදා දේශපාලන පක්ෂ නායකයන් කැඳවූ විට එහි ගියේ මමත් දෙමළ පක්ෂත් පමණයි.

    එදා මැයි නව වෙනිදාට කලින් සතියේ පාර්ලිමේන්තුව තිබුණා.කොටසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට ගියා.

    ගෝඨාභයගේ ආණ්ඩුව වැටුණොත් පළමුවෙන් විපක්ෂ නායකට අගමැති ධුරය බාරදිය යුතු බව ඇතැමුන් කිව්වා. ඒ ගැන මගෙනුත් විමසීම් කළා.සම්ප්‍රදාය එය බව මමත් ඔවුන්ට දැනුම් දුන්නා.

    නමුත් විපක්ෂ නායක ඒ වගකීම බාරගත්තේ නැහැ. ඔහුට මේ වගකීම බාරගන්න යුතුකමක් තිබුණා.

    අපි ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා. එතුමා අයිවො ජෙනීන්ග්ස් කියැවිය යුතුයි නේද? අගමැති ඉවත් වීමේදී විපක්ෂ නායකට වගකීම දිය යුතු බව ඔහු පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජෙනීන්ග්ස් ලියා තිබෙන Cabinet Govt සහ Parliament පොත් හොයාගෙන කියවන්නැයි දැනුම් දෙන්නට කැමතියි.

    විපක්ෂ නායක රටට යුතුකම කළේ නැහැ.මගේ මිත්‍ර අනුර හොයාගන්නත් හිටියේ නෑ.දවස් දෙකක් තිස්සේ අගමැති කමට මිනිස්සු හෙව්වා.කොයි රටේද එහෙම දෙයක් වුනේ.අගමැති නැතුව ආණ්ඩුවක් ගෙන යන්න බෑ.ජනාධිපති වැඩ කළ යුත්තේ අගමැතිගෙන් උපදෙස් ගෙනයි.

    මම අගමැති කම ඉල්ලුවේ නෑ .මට එන්න කියා සහයෝගය ඉල්ලුවා.ඒ අනුව සහයෝගය දෙන්න එකඟ වුණා.එවේලේ සජිත් රට බාර ගත්තත් මම එයාට උදව් කරනවා. මට එය ප්‍රශ්නයක් නැහැ.

    මහින්ද සහ මම දැන් දේශපාලනයේ ගොඩක් පරිච්ඡේද මේ වන විට අවසන් කර තිබෙනවා. රටක් කරදරේ වැටුන විට ප්‍රධාන පක්ෂ ලෙස එකතු වී කටයුතු කළ යුතුයි. අපි ගහගෙන මරාගෙන තිබෙනවා. බැනගෙන තිබෙනවා. හැබැයි රටට අමාරු වූ විට එකතු වුණා.

    1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය කඩා වට්ටන්නේ නැතිව,එක පක්ෂයක් පරාජයට පත් වූ විට අනෙක් පක්ෂයට සාමකාමීව බලය හුවමාරු කරගෙන ඇති දකුණු ආසියාවේ එකම රට ලංකාවයි.එසේ සාමකාමීව බලය හුවමාරු කරගෙන ඇති වෙන එක රටක් මට පෙන්වා දෙන්න.

    අපේ අඩුපාඩු කම් තිබෙන බව ඇත්තයි.

    ලංකාවේ පමණයි එවැනි දෙයක් වෙලා තිබෙන්නේ. කොපමණ ගහ ගත්තත් අප හැන්දෑ වරුවේ හමුවෙනවා. මගුල් ගෙවල් වලදී හමුවෙනවා.

    අපේ ගෙවල් ගිනි තැබුවා. ඉන් පසුව වැඩ බලන ජනාධිපති ලෙස ඉදිරිපත් වන්නැයි ගොඩක් අය මගෙන් ඉල්ලීම් කළා. ඒ සම්බන්ධයෙන් මා සජිත්ලාගෙන් විමසීමක් කළා. සජිත් එම පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වන බවත් අවශ්‍ය නම් අගමැති ලෙස පැමිණෙන ලෙසත් මට දැනුම් දුන්නා. මම එයාගේ අගමැති වන්නේ කොහොමද කියා මා සිතුවා.සජිත්ගේ විදියට මට දුවන්න බෑ.ඊට වඩා මා ජනාධිපති ධුරයට පත්වන එක හොඳ බව මා සිතුවා. එම ඡන්දයට ඉදිරිපත් වන බව අනුරත් පැවසුවා.

    ජී.එල් ගෙන් ඇහුවාම කතා කරන්න සූදානම් නැති බව කිව්වා.අනතුරුව මා මහින්ද සමග කතා කතා කළා. අනතුරුව සහයෝගය දෙන්න පොරොන්දු වුණා. එය වැරදිද? සජබෙන් කොටසක්ද මට ඡන්දය දුන්නා. එය රහසක් නොවේ.

    ආණ්ඩුව ගෙනයන්න පොහොට්ටුවේ බහුතරයක් සහාය දුන්නා. මා ඒකට ස්තුතිවන්ත වෙනවා. මා මහින්ද සමග වාඩිවී ඉන්නේ ඒකයි.

    මට දොස් කියන්නේ ඕකට.ශක්‍ර දෙවියන් පාර්ලිමේන්තුවේ හිටියා නම් මම ශක්‍රදේවේන්ද්‍රයාගෙන් අහනවා. නමුත් ශක්‍රදේවේන්ද්‍රයා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. හිටියේ මහින්ද රාජපක්ෂයි .සජිත් ප්‍රේමදාසයි. අනුර දිසානායකයි.ගජේන්ද්‍ර කුමාර් සහය දුන්නා නම් ඒකත් අරගෙන යනවා.මොකද ආර්ථිකය හදන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. අප දැන් ආර්ථිකය හදා තිබෙනවා.

    ඩොලර් බිලියන අටක් ඉතිරි කරගෙන තිබෙනවා.දැන් අප ඉදිරියට යා යුතුයි.

    පොහොට්ටුවේ සහාය එපා කිව්වා නම් අද වෙන්නේ කුමක්ද?තෙල් නෙමෙයි පොල්තෙල් වත් නැති වෙනවා.එහෙනම් ඩොලරය හාරසිය පනහට යනවා .කාගෙන් හරි උදව් අරගෙන වැඩේ කළ යුතුයි. මේ පාට පක්ෂ බේද බලන්න අවස්ථාව නොවේ.

    දැන් එතැන් සිට ඉදිරියට යා යුතුව තිබෙනවා. මං මේ ඇමතිවරු තේරුවේ නෑ.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තෝරපු අය හිටියේ.නමුත් පොහොට්ටුවේ මිනිස්සු වැඩේ බාරගෙන දිව්වා. මං හිතුවාට වඩා ඔවුන් එය ඉදිරියට ගෙන ගියා. පොහොට්ටුවේ කැබිනට් මණ්ඩලයේ සහාය නැතිව මට එය තනිව කරන්න බෑ.

    මෙතන වාඩිවෙලා ඉන්නේ මොකද කියා මගෙන් අහනවා.මා පොහොට්ටුවට බැඳෙන්නේ නැහැ. මේ පක්ෂ දැන් අලුතෙන් හදාගෙන යා යුතුයි. 2021,2022 ,2023 කාල පරිච්ඡේදයේ පක්ෂ ක්‍රමවේදය කැඩුණා. කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුවේ සහයෝගය නැතිව මට මේක තනිවම කරන්න බැහැ.

    එමෙන්ම ඕනෑ අවස්ථාවක එකට වැඩ කළ යුතුයි .අනෙක් වෙලාවට වෙන් වෙන්න පුළුවන්.එහෙම නැතිනම් අප රට පාවලා දුන්නා වෙනවා.

    මම පොහොට්ටුවට බැඳෙන්නෙ නෑ වගේම පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නෙත් නැහැ.

    එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පොහොට්ටුවේ රැස්වීමටත් එකම දවසේ යන්නට මට හැකි වී තිබෙනවා. ඊයේ රෑ මම හිටියේ සජබෙ අය එක්ක .මට ඕන්නම් ඒ අය ගිය රැස්වීමටත් යන්න තිබුණා. මං පන්නන්නට කවුරුවත් එහි නැහැ.

    අප මේ සමයේ එකට වැඩ කරමු.විශාල අභියෝගයක් අප හමුවේ තිබෙනවා.ඒ අභියෝගය අවසානයේ ජයගත යුත්තේ අප නොවේ. මේ තරුණ පරපුරයි.

    අප තරුණයන්ට අනාගතයක් දිය යුතුයි. ඊට කැපවී අප දේශපාලනය කළ යුතුයි.ඉතිං රෝහිත ඔබට ස්තුති කරනවා යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img