පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයන්ට බෙදාදීම සඳහා කාදිනල්තුමාට ලැබුණු බව කියන මුදල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පරස්පර අදහස් මතුවෙමින් තිබේ.
ඊට හේතු වී ඇත්තේ කොළඹ අගරදගුරු සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ගේ ප්‍රකාශයක් සහ ඔවුන් ප්‍රකාශයට පත්කරන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ඒ සම්බන්ධයෙන් දැක්වෙන සෙත්සරණ ආයතනයේ නිල ප්‍රකාශනය තුළ පවතින පරස්පරතාවයකි.
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට බෙදාදීමට එකතු කරගත් මුදල් රුපියල් කෝටි 50කට අධික ප්‍රමාණයක් දැනට බෙදාදෙමින් පවතින බව කොළඹ අගරදගුරු සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පසුගිය ජුනි 21 වැනිදා ප්‍රකාශ කර තිබිණි.
අදාළ බෙදාදීම් සඳහා ප්‍රසිද්ධියක් ලබා නොදුන්නත් කාදිනල් හිමිට ලැබුණු මුදල් උන්වහන්සේ යටතේ ක්‍රියාත්මක සෙත්සරණ ආයතනය ඔස්සේ රු.කෝටි 46ක් වියදම් කළ බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර තිබේ.
අදාළ පරස්පර අදහස්වලට හේතුවන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම ප්‍රකාශයට මාස දෙකකට පෙරයි. එහි සෙත් සරණ ආයතනය මෙලෙස බෙදා දී තිබෙන මුදල දක්වා ඇත්තේ රු.කෝටි 33 (328898010/=) ක් ලෙසයි. කෙසේ වෙතත් පසුගිය මාස දෙක තුළ තුළ බෙදා දී දී ඇති එකතුව සමඟ ගත්ත ද ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා රුපියල් කෝටි 46ක් බෙදා දුන් බව පවසයි.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් නිර්මාණය වීමට පටන්ගෙන ඇත්තේ කාදිනල්හිමිට පාස්කු වින්දිතයන්ට ගෙවීමට කොපමණ මුදලක් එකතුවූවාද සහ අදාළ වියදම් කළ මුදල සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නිල වශයෙන් ඉදිරිපත් නොවීමේ පසුබිමක් තුළයි.
කිතුණු ඉගැන්වීම්වලට අනුවම කතෝලික සභාවෙන් කරන දේවල් බොහොම රහසිගතව ඉටු කරන බවට වූ අදහසක් ද සමාජගත වීම මෙම කුතුහලය වැඩිවීමට හේතු වී තිබේ.