fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට වැස්ස ටිකක් වැඩිවෙයි

    අද සිට වැස්ස ටිකක් වැඩිවෙයි

    අද(08) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

    උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    මේ අතර කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

    මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

    මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

    මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.