fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රථම වරට ත්‍රිවිධ හමුදාවට හජ් වන්දනාවට නොමිලේ අවස්ථාවක්

    ප්‍රථම වරට ත්‍රිවිධ හමුදාවට හජ් වන්දනාවට නොමිලේ අවස්ථාවක්

    මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි අරාබි රජය විසින් ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා මෙම වසරේදී (2024) නොමිලේ අවස්ථාව සලසා තිබේ.

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානි මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ලබා ගැනීමට හැකි විය.

    රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කල මෙම විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණි.

    ත්‍රිවිධ හමුදා මුස්ලිම් සාමාජිකයින් සඳහා විශේෂ අනුග්‍රහයක් සහිත අවස්ථා පහක් මේ වසරේදී ලබා දී තිබීම සුවිශේෂී කරුණකි.

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා අද (ජුනි 07) දින උදෑසන කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයේදී තානාපති අල්කතානි මහතා හමු වූ අවස්ථාවේ දී ත්‍රිවිධ හමුදාවේ මුස්ලිම් සාමාජිකයින්ට තම ජීවිත කාලයටම එක් වරක් ලැබෙන මෙම මහඟු අවස්ථාව ලබා දීම සඳහා දැක්වූ උදාර සහයෝගය වෙනුවෙන් සිය කෘතඥපූර්වක ස්තූතිය පළ කළේය.

    රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා විසින් උදාර චේතනා පෙරදැරිව සිදු කල මෙම ඉල්ලීම පිළිබඳව ස්තුති කළ සෞදි අරාබි තානාපතිවරයා එළඹෙන වසරවලදී ආරක්‍ෂක සේවා නිලධාරීන් සඳහා ලැබෙන අවස්ථා සංඛ්‍යාව ඉහළ නැංවීමට තමා පෞද්ගලිකවම මැදිහත් වන බව තවදුරටත් පැවසීය.

    ඉතිහාසයේ නව පියවරක් තබමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා නිලධාරීන් හට ඉදිරියේදී ‘උම්රා’ වන්දනාවේ යෙදීමට ද අවස්ථාව සැලසීමට කටයුතු කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට සහය වීමට සෞදි අරාබි රජය කැපවී සිටින බවත්, මේ සම්බන්ධයෙන් මෙරට නිලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා හජ් කමිටු සාමාජික මිල්ෆර් ගෆූර් මහතා සහ ප්‍රතිලාභී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.