ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට එක්වීමට විදේශ ජාතිකයින්ටද අවස්ථාව ලබාදීමට එරට රජය පියවර ගැනීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව නුදුරේදීම ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය හිමි විදේශ ජාතිකයින් හට එරට ආරක්ෂක අංශ වලට ඇතුලත් වීමට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු රජය අද දින නිවේදනය කළේය.
මෙම වැඩසටහන යටතේ ජූලි මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් වන නවසීලන්ත ජාතිකයින් හට ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායට බැඳීමට අවස්ථාව හිමිවේ. මේ අතර, ලබන වසරේ සිට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ වෙනත් රටවලින් ස්ථිර පදිංචිකරුවන් හට ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වෙත බැදීමට අවස්ථාව හිමිවනු ඇත.
අයදුම්කරුවන් අවම වශයෙන් වසරක්වත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වී තිබිය යුතු අතර, වසර 10ක පසුබිම් පරීක්ෂාවකට භාජනය කිරීමටද නියමිතය. ඊට අතිරේකව ඕස්ට්‍රේලියානු රජයේ අනෙකුත් ප්‍රමිතීන් සහ ආරක්ෂක අවශ්‍යතා සපුරාලිය යුතුය. මෙලෙස අයැදුම් කරනු ලබන පිරිස් පෙර වසර දෙක තුළ විදේශීය හමුදාවක සේවය කර නොතිබිය යුතු අතර ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබා සිටිය යුතුය. ඔස්ට්‍රේලියානු රජයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ නව බඳවා ගැනීම්වලට සම්බන්ධ වී දින 90 ක් ඇතුළත පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බවයි.
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක බලකාය වර්ධනය කිරීම ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට ජාතියේ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය බවයි.
ඕස්ට්‍රේලියානු හමුදාව සැලකිය යුතු මට්ටමින් සමාජිකයින්ගේ හිඟකම විශාල අභියෝගයක් බවට පත්ව ඇති අතර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකා ප්‍රධානියා සඳහන් කර ආකාරයට පුද්ගලියින් 4,308 ක් පමණ හිඟයක් පවති.