77 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ඇරඹේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (27) එය ආරම්භ විය. “සියල්ල සෞඛ්‍යය සඳහා – සියලුදෙනා වෙනුවෙන් සෞඛ්‍යය” යන්න මෙවර සමුළුවේ තේමාවයි.
සය දින සමුළුව අතරතුර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 14 වැනි කාර්ය සැලැස්ම අනුමත කෙරෙනු ඇත. 2025 වසරේ සිට 2028 වසර දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සෞඛ්‍ය උපායමාර්ගය වන මෙමගින්, කාලගුණික විපර්යාස, ජනගහණය වයස්ගත වීම,සංක්‍රමණය සහ තාක්‍ෂණික දියුණුව වැනි ප්‍රවණතා සෞඛ්‍යය හා යහපැවැත්ම කෙරෙහි බලපාන ආකාරය කෙරෙහි අවධානය යොමුකෙරේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සමුළුවේ සමාරම්භක උත්සවයේ දී වීඩියෝ තාක්ෂණය මගින් දේශනයක් පවත්වමින් කියාසිටියේ, මෙවර ලෝක සෞඛ්‍ය සමුළුව, ගෝලීය සෞඛ්‍ය අභියෝග රැසකට විසඳුම් සෙවීමේ අවස්ථාවක් වන බවයි. එසේම එය, අනාගත අර්බුදවලට මුහුණ දීමට අවශ්‍ය නිසි ප්‍රතිපත්ති හා ක්‍රමවේද සකසමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ වේදිකාවක් බව ද ඔහු පැවසීය.
සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම ලොවට ප්‍රතිලාභ ලබා දෙන අතර, ගෝලීය සෞඛ්‍ය සහයෝගිතාව සියලු රටවල අවශ්‍යතාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ගෙබ්රියේසුස් මහතා සිය දේශනයේ දී කියාසිටියේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලු දෙනාට ඉහළම සෞඛ්‍ය මට්ටමක් ළඟා කර ගැනීමට සහාය වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.