මරදාන පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් රත්නපුර සහකාර පොලිස් අධිකාරී එස්.ඩබ්ලිව්. මීගහපොල සහ වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දුන් යුධ හමුදා කෝප්‍රල්වරයෙකු වේවැල්වත්ත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීරඇප මත මුදා හැර ඇත.
මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ රත්නපුර ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන යුධ හමුදා සන්නහා සන්නද්ධ බලකායේ රොක් හවුස් කඳවුරේ සේවයේ නිරත ප්‍රසාද් වික්‍රම නැමැති 37 හැවිරිදි වියේ පසුවන කෝප්‍රල්වරයාය.
මෙම කෝප්‍රල්වරයා මෙම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 06 වෙනිදාය. නිවාඩුවට නිවසට පැමිණ සිටියදී මත්පැන් පානයකර වෙරිමතින් ඔහු මෙම ඇමතුම දී ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
මෙම කෝප්‍රල්වරයා එදින රත්නපුර සහකාර පොලිස් අධිකාරීවරයාට 071-85913– යන රාජකාරි ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන පවසා ඇත්තේ වෙව්වැල්වත්ත පොලිස් වසමේ තොරතුරු රැසක් තමා සතුව ඇති බැවින් ඒ ගැන දැනගන්නට අවශ්‍යනම් තමාට දුරකථන ඇමතුමක් ලබාගන්නා ලෙස වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙසය.
එහිදී සහකාර පොලිස් අධිකාරීවරයා එම ඇමතුම ලබාදුුන් පුද්ගලයාගෙන් තමා කවුරුන්දැයි විමසූ විට පිළිතුරු දී ඇත්තේ මරදාන පොලීසියේ ස්ථානාධිපති ලෙස පවසා දුරකථනය විසන්ධිකර ඇත.
පොලිස් නිලධාරියෙකුගේ හැසිරීමක් එම ඇමතුමෙන් නොපෙනුන බැවින් සහකාර පොලිස් අධිකාරීවරයා තමාට දුරකථන ඇමතුම දුන් පුද්ගලයාට නැවත ඇමතුමක් ලබාදෙමින් විස්තර විමසීමේදී තමා ගැන විස්තර අනවශ්‍ය බව පවසා දුරකථනය නැවත විසන්ධිකර ඇත.
මේ ගැන වේවැල්වත්ත පොලීසිය දැනුවත් කර කළ විමර්ශනයකදී හෙළිවී ඇත්තේ යුධ හසුදා කෝප්‍රල්වරයෙක් මෙසේ බීමතින් හැසිරී ඇති බවය. මෙම සිදුවීමෙන් අනතුරුව කෝප්‍රල්වරයා නැවත සේවයට ගොස් සිටි බැවින් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවාඩු ලැබ පැමිණිමෙන් අනතුරුව බව පොලිස් තොරතුරු සඳහන් කළේය.