තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න අලුතින් ගුරුවරු 2500ක්

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න අලුතින් ගුරුවරු 2500ක්

    පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කිරීම සඳහා අළුතින් ගුරුවරුන් 2,500කගේ සේවය ලබාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර 3ක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමටද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී උපදෙස් දී ඇත.

    ඒ අතරතුර, විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමටද උපදෙස් දුන්නේය.

    දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරුන් පුහුණු කරනු ලබන විද්‍යාපීඨයන්ගෙන් පුහුණුව ලබා පිටවීමට නියමිත විද්‍යාපීඨ ගුරුවරුන් 400ක්ද මෙයට අන්තර්ගතවනු ඇත.

    2000 වර්ෂයේ සිට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් 08ක් ඉගැන්වීම ආරම්භ කරන ලදී.

    නමුත් එදින සිට මේ වන විට වසර 24ක් ගතවී ඇතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් 765ක පමණි.

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතී.

    එබැවින් ඊයේ පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙන ලදී.

    එමඟින් 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් 200,000ක් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.

    මෙම කාර්යය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ හදිසි අවශ්‍යතාවය සලකා බලා ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරු 08 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතය.

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි කෙටි කාලීන සහ මධ්‍ය කාලීන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලීන් අඩංගු වන අතර, වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු වඩාත් වැදගත් සහ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

    ගුරු සහතිකකරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ඇතුළුව අනෙකුත් පිළිගත් වෘත්තීන්හි මෙන් ගුරු සේවයේ තීරණ ගැනීම සහ වෘත්තීයකරණය සඳහා ගුරුවරුන්ගේ සක්‍රීය දායකත්වයක් ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස ජාතික ගුරු කවුන්සිලයක් (National Council for Teachers) පිහිටුවීම සඳහා පනතක් කෙටුම්පත් කර මාසයක් තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

    මෙම කවුන්සිලය මඟින් ගුරු වෘත්තිය ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තියක් බවට පරිවර්තනය කිරීම, ගුරු වෘත්තීමය ගුණාංග වැඩිදියුණු කිරීම, ගුරුවරුන් සඳහා නිශ්චිත වෘත්තීය මාර්ගයක් (professional pathway) ඇතුළු මනාව නිර්වචනය කරන ලද වෘත්තීය සංවර්ධන රාමුවක් හඳුන්වා දීම, නැගී එන වෘත්තීය තත්ත්වයන්ට අනුකූලව ගුරු වැටුප් ව්‍යුහය ඇගයීම, කීර්තිමත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම වැනි අවශ්‍යතා සපුරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img