fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපතිවරණයට ඉල්ලනවද? රනිල් ඉන්දියාවට දුන්නු උත්තරේ (📹)

    ජනපතිවරණයට ඉල්ලනවද? රනිල් ඉන්දියාවට දුන්නු උත්තරේ (📹)

    යළි ජනාධිපති වීමට නම් තමා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කළ යුතු බවත් සියල්ලටම පෙර තම අවධානය යොමුව ඇත්තේ රටේ ආර්ථිකය යථාතත්වයට පත්කොට ණයබරින් මිදිමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම මේ වසරේ පැවැත්වීමට නියමිත අතර පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පවත්වන බවත් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා කියාසිටියේ, පර්ත් නුවරදී WION නමැති ඉන්දීය මාධ්‍යය නාළිකාවේ රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු සිධාන්ත් සිබල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 

    ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදී සිධාන්ත් සිබල් විමසූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ “මම ආවෙ රටේ ආර්ථිකය පිළිවෙළක් කරන්න. මගේ පළමු රාජකාරිය ඒ ගැන අවධානය යොමු කිරීමයි, අපි බංකොලොත්භාවයෙන් මිදීමයි.” යනුවෙනි.

     

    ර‍ට දරුණු ආර්ථික කඩාවැටීමට ලක්වූ අවස්ථාවේදී ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 04ක පමණ ණයක් ලබාදෙමින් දුන් සහයෝගය නොවන්නට ශ්‍රී ලංකාවට ගැලවීමට නොහැකිව තිබූ බවත් ඒ පිළිබඳ තමා ඉන්දියාවට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා කියාසිටියේ ය. මේ නිසා තවදුරටත් දෙරටේ සබඳතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය ‍යොමුකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    රට පැවති බරපතළ ආර්ථික කඩාවැටීමෙන් ඉක්මණින් යම් ස්ථාවරත්වයකට පත්කරගැනිමට හැකිවීම පිළිබඳ ඇති අදහස කුමක්ද යන්න පිළිබඳ මාධ්‍යවේදියා නැඟූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ තමා ඒ පිළිබඳ සෑහීමකට පත්වන බවයි. එමෙන්ම මෙය (රට යළි ගොඩනැගීම) ඉටුකළ හැකිය යන්න තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා එහිදී කීය.

    ජනාධිපතිවරයා WION ඉන්දීය මාධ්‍ය නාළිකාව සමඟ කරන ලද සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.