පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමා කිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.
මෝටර් වාහන ආදිය ගෙන්වීමට තව ටික කාලයකට නොහැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.
දැනට පනවා ඇති විදේශ විනිමය නියෝගවල සංශෝධන සහ විදේශ විනිමය සීමා කිරීම් පියවරෙන් පියවර ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
“මම හිතන්නේ මොන රෙගුලාසි ලිහිල් කරනවාද කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යාංශය අවසර ගත්තා. මා කලින් සඳහන් කළ පරිදි, වත්මන් විදේශ විනිමය අර්බුදය යටතේ, ආනයන පාලන නීති ඉතා සැලසුම් සහගතව සහ ඉතා සූක්ෂ්ම ලෙස අදියරෙන් අදියර ලිහිල් කරමින් පවතිනවා,” ඔහු පැවසීය.
පියවරෙන් පියවර සීමා ලිහිල් කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අදාළ ආයතන පාර්ලිමේන්තුවට දන්වා ඇති බවත්, ඒ අනුව ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එම අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලද යෝජනාව පහත දැක්වේ.
විදේශ විනිමය සීමා කිරීම් අදියර වශයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විදේශ විනිමය නියෝග සඳහා යෝජිත සංශෝධන
– ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව අනුව මෙරට ගෙවුම් ශේෂය ස්ථාවර තත්ත්වයකට ළඟා වීමේදී අදියර වශයෙන් පරිපාලන පියවර ඉවත් කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. ඊට අනුගතව, ඇතැම් ජංගම විදේශීය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් විදේශ විනිමය බවට පරිවර්තනය කිරීම තහනම් කිරීමට අදාළ විදේශ විනිමය සීමා කිරීම් ලිහිල් කිරීමේ අදියරගත සැලසුම යටතේ වන පියවරයන් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ නිර්දේශය ලබා දී ඇත. ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1) වගන්තියෙහි විධිවිධාන අනුව සාදනු ලැබ ඇති නියෝග ප්‍රකාශයට පත් කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.