රට ආර්ථික ස්ථාවරත්වයට පැමිණ සිටින නමුත් ලැබෙන ආදායම් තවමත් ප්‍රමාණවත් නොමැති නිසා, කනගාටුවෙන් වුවද වැට් එකතු කිරීමට සිදුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
“අපි ආර්ථික ස්ථාවරත්වයට පැමිණ සිටින නමුත් අපට ලැබෙන ආදායම් තවමත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට අපට සිදු වෙලා තිබෙනවා. ඒ අනුව තමයි කණගාටුවෙන් වුවද වැට් එකතු කිරීමට අපට සිදු වෙලා තිබෙන්නේ. දැන් අපි සෘන ආර්ථිකයක් වෙනුවට ධන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටිනවා.” යැයිද හෙතෙම කීය.
තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබූ බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට අද (25) පෙරවරුවේ එක්වෙමිනි.
උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“අබේසේකරාරාමය මෙම ප්‍රදේශයේ තිබූ ප්‍රධානම විහාරස්ථානයයි. මම පළමු වරට මෙම ස්ථානයට පැමිණියේ බියගම ආසන සංවිධායකවරයා ලෙසයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ බියගම අපේක්ෂකයා ලෙසයි. එදා මේ බියගම ඉතා නොදියුණු ප්‍රදේශයක්.
කොපමණ නොදියුණුද කියනවා නම් මීට වඩා නොදියුණු අගලවත්ත විතරයි කියලා ඇතැමුන් පැවසුවා. ඒත් අපට කියන්න සිද්ධ වුණා අගලවත්තේ තේ වතු, රබර්වතු,තේ කර්මාන්තශාලා තිබෙනවා කියලා. නමුත් බියගම තිබුණේ මේ තෙල් පිරිපහදුව පමණයි.
සමහරු කිව්වේ මේ ආසනයේ ආර්ථිකයක් නැහැ, මෙය හරියට නිදන කාමරයක් වගේ උදේ පිටවෙනවා, නිදා ගැනීමට සවසට මෙහි පැමිණෙනවා කියලා. කෙසේ හෝ එම මැතිවරණ කාලයේ මම ජීවත්වුණේ මේ අසළ තිබු නිවසකයි. මේ අබේසේකරාරාමයට අල්ලපු ඉඩමේ ගොඩනැගිල්ලක මගේ කාර්යාලය පවත්වාගෙන ගියා.
මහා මැතිවරණය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ මේ අබේසේකරාරාමයට පැමිණ ආශිර්වාද ලබා ගනිමු කියලා මගේ මව කිව්වා. ඒ අනුව මෙම විහාරස්ථානයට පැමිණ අපවත්වී වදාළ නායක ස්වාමින් වහන්සේ මුණ ගැසී මල් පූජා කර මෙම බෝධින් වහන්සේ අභියස බෝධි පූජාවක් සිදු කර මම ආශිර්වාද ලබා ගත්තා. මා ලැබු මැතිවරණ ප්‍රතිඵලය ගැන නැවත ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. මගේ දේශපාලන ජීවිතයේ වැඩකටයුතු ආරම්භ කළේ මෙම ස්ථානයෙන්.
එම දේශපාලන ගමන අද මම ජනාධිපති ධූරය දක්වා පැමිණ තිබෙනවා. මා ජනාධිපති ධූරයට පැමිණයේ අලුත් විදිහකටයි. ආණ්ඩුව කඩා වැටිලා, එය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවක මම එම වගකීම භාරගත්තා.
මම රට භාරගත්තේ එදා රටේ ආර්ථිකය විනාශ වී තිබුණ නිසයි.
දැන් වසර දෙකක් ගත වී තිබෙනවා. අද අප නැවත ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා සිටිනවා. අද අග හිගකම් නැහැ. නමුත් ආර්ථිකයක් නැවත ගොඩනැගීමේ දී මතුවන ප්‍රශ්නවලට අපට මුහුණදීමට සිදු වෙලා තිබනෙවා. දැන් අප එම තත්ත්වයෙන් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණෙමින් සිටිනවා.
බියගම ආයෝජන කලාපය වැනි ආයෝජන කලාප රට පුරා ඇති කර රටේ ආර්ථික වේගය දස ගුණයකින් වැඩි කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
අප මෙහිදී බියගම උදාහරණයකට ගන්නවා. එදා මම මෙම බියගමට පැමිණෙද්දි මෙහි කිසිවක් නොතිබූ බව මම කළින් ප්‍රකාශ කළා. නමුත් විවෘත ආර්ථිකය සමග මෙම ප්‍රදේශය දියුණු කළ හැකි බව මම විශ්වාස කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා පළමු ආයෝජන කලාපය කටුනායක ආරම්භ කළා. ඒ කටුනායක දියුණු ප්‍රදේශයක් වී තිබු නිසා.
මෙම තීරණ සමග එදා නොදියුණු පළාතක්ව පැවති බියගම අද වන විට විශාල සංවර්ධනයක් ලබා තිබෙනවා. ඒ අනුව දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාපය බවට බියගම සහ කටුනායක ආයෝජන කලාප පත්ව තිබෙනවා.
එදා මම බියගමට පැමිණෙන විට එහි පැවතියේ කර්මාන්ත ශාලා 15ක් පමණයි. අද කර්මාන්ත ශාලා 58ක් තිබෙනවා. ඊට අමතරව තවත් විශාල කර්මාන්ත ශාලා 180ක් සහ මධ්‍යම හා කුඩා කර්මාන්ත ශාලා 275ක් තිබෙනවා. අද විශාල ආර්ථිකයක් මෙහි ඇති වී තිබෙනවා. එදා කඩ සාප්පු 200ක් වත් තිබුණේ නැහැ. අද කඩ සාප්පු 4,227ක් තිබෙනවා. මේවායේ වැඩකරන අයට ආහාර පාන දෙන්න ආපනශාලා 597ක් තිබෙනවා. ඉලෙක්ට්‍රික් බඩු කඩ 316ක් තිබෙනවා. සංචාරක හෝටල් 02ක් තිබෙනවා. මෙහි සම්පූර්ණ ආර්ථිකයක් ගොඩනැගී තිබෙනවා. බියගම දියුණුවත් සමග කැලණිය ද විශාල දියුණුවක් ලැබුවා.
එසේනම් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ බියගම. ඒ සමගම කැළණිය ඉදිරියට පැමිණියා. වැඩිකල් යාමට පෙර දළුගම, කිරිබත්ගොඩ, මාකොළ, මාවරමංඩිය, කඩවත විශාල ආර්ථික ප්‍රදේශයක් බවට පත් වෙනවා.
ඒ වගේම මෙම දියුණුව දිවයිනේ අනෙකුත් පළාත්වල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, උතුර ඒ සඳහා හදුනාගෙන තිබෙනවා. ඒ අනුව විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජාතික ආර්ථිකය දස ගුණයකින් වැඩි කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.”