මධ්‍යම පරිසර අධිකාරියේ සංවර්ධන නිලධාරියෙකු පදිංචිව සිටින නාගොල්ලාගම පිහිටි නිවසකට පෙරේදා (04) අලුයම් කාලයේදී මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් සංවර්ධන නිලධාරියාට පිහියෙන් ඇන ඔහුට අයත් මොටර් රථය ඇතුළු රුපියල් ලක්ෂ 90 කට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් ඇත.
කොල්ලකෑ නවීන පන්නයේ මෝටර් රථය පණගැන්වීමට කොල්ලකරුවන් දැන සිට නැති බවත් එය පණ ගන්වාගෙන ඇත්තේ සංවර්ධන නිලධාරියා බිය ගන්වා ඔහුගෙන් උපදෙස් ලබාගෙන බවත් නාගොල්ලාගම පොලීසිය කියයි.
එසේ කොල්ලකෑ මෝටර් රථය පාදෙණිය පාරේ දළදාගම හන්දිය ආසන්නයේ අතහැර ගොස් තිබියදී පොලීසියට හමුවී ඇත. එහි සටහන්ව තිබී ඇගිලි සලකුණු කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සංවර්ධන නිලධාරියා රාජ්‍ය සේවා විභාග සඳහා මාර්ග ගත ක්‍රමයට උපකාරක පංති පවත්වන්නෙක් බවද පොලීසිය කියයි.
මෙම කොල්ලය සිදුව ඇත්තේ ඔහු සිය බිරිඳ හා මාස 06ක් වයසැති දරුවා සමඟ පදිංචිව සිටින රැදීබැදි ඇල්ල ප්‍රදේශයේ පිහිටි නිවස තුළදීය. එම නිවසේ ඔහු සිය බිරිඳ හා දරුවා සමඟ පදිංචිව සිටින්නේ කුළී පදනම මත බවද පොලීසිය කියයි.
රාත්‍රී කාලයේ ඔවුන් නිදාගෙන සිටියදී ජනේලයක් බිඳ කොල්ලකරුවන් දෙදෙනා නිවසට ඇතුළු වී ඇති බවත් සංවර්ධන නිලධාරියාට ඇහැරීමෙන් පසු ඔහුට පිහියෙන් ඇන ඇති බවත් පොලීසිය කියයි.
මෝටර් රථය රුපියල් ලක්ෂ 82ක් වටිනා බව සංවර්ධන නිලධාරියා පොලීසියට පවසා ඇත. එම රථය හැරුණු කොට රුපියල් ලක්ෂ 02ක මුදල්ද පවුම් 05ට ආසන්න බරිති රන් භාණ්ඩද කොල්ලකා ඇති බව පොලීසිය කියයි.
මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා මුහුණු ආවරණයකරගෙන පැමිණ ඇත්තේ ඔවුන් ඒ අවට හෝ සංවර්ධන නිලධාරියා දන්නා කියන අය නිසා විය හැකි බවට සැකයක්ද ඇතැයි පොලීසිය කියයි. මෙම කොල්ලකරුවන් වැඩි කල් නොගොස් අත්අඩංගුවට ගැනීමට හැකියනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.