fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

    ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

    බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී ඇත.

    බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූ යේ 1972 මැයි මස 22 දාය. එදා සිට මැයි 22 වෙනිදා ජනරජ දිනය ලෙස නම්කර ඇත.

    වසර සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය ජනරජ ව්‍යවස්ථාව මගින් නැවතත් මෙරටට හිමිවිය.

    1815 දී ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත පැවරුණි. ඉන්පසුව මේ රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරණ තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගිනි.

    ඉංග්‍රීසීන් විසින් ගෙනගිය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙරට ජාතික වීරයන් මෙහෙයවන ලද නොනිමි අරගල හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අවස්ථා කිහිපයකදීම සිදුකෙරුණි. එහෙත්මෙරට ජාතික නායකයින් අපේක්ෂා කළ අරමුණු ඒවායින් ඉටු නොවූයෙන් මවු බිමට නිදහස පතා ජාතික නිදහස් ව්‍යාපාර තවදුරටත් දියත් විය.

    මෙම නිදහස් ව්‍යාපාරවල සහ ඒවායේ පුරෝගාමී ජාතික විරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් 1948 පෙබරවාරි 4 වනදින ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමිවිය.

    1948 දී මෙරටට හිමිවූයේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. තවදුරටත් ශ්‍රී ලංකාවේ රජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රආණ්ඩුකාරවරයා ය.එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුනේ එංගලන්තයේ ආයතනයන්ට ය.බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ඔහුය.එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේද එංගලන්තයටය.

    ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුළුමනින්ම නිදහස් වී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණිය ප්‍රමුඛ රජය විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මගිනි.එය සමස්ත රටම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විය.එමගින් සියවසකටත් වැඩි කලක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය නැවතත් මෙරටටම හිමි කරගැනීමට හැකි විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.