fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් නිල සුනඛයන්ට තවත් බරපතළ රාජකාරියක්

    පොලිස් නිල සුනඛයන්ට තවත් බරපතළ රාජකාරියක්

    අපරාධ රැල්ල ඉහළ යන තත්ත්වයක් යටතේ නවීන තාක්ෂණය හා මුසුව අපරාධ මැඩලීම සඳහා නිල සුනඛයන් යොදවන බව අපරාධ හා රථවාහන කොට්ඨාශභාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

    පස් අවුරුදු සැලැස්මක් යටතේ පොලිස් නිල සුනථ කොට්ඨාශය දියුණු කරමින් මෙම කාර්යය සිදුකරන බව ද ඒ මහතා කීවේය.

    මහනුවර, අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සැමරුම් උත්සවය අද (04) අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහි පැවැති සැමරුම් උත්සවයේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    නිල සුනඛ කොට්ඨාශයේ නිලධාරීන්ගේ ආචාර පෙලපාලියක්, නර්ථන අංග සහ පොලිස් නිල සුනඛයන්ගේ සංදර්ශනයකින් මෙම උත්සවය සමන්විත විය. රාජකාරියේදී විශේෂ කුසලතා දැක්වූ නිලධාරීන් සහ නිල සුනඛයන් ඇගයමින් තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

    රට තුළ අපරාධ මැඩලීමේදී මෙන්ම තිස් අවුරුදු යුද සමයේදී නිල සුනඛයන් විශේෂ මෙහෙවරක් සිදු කොට ඇතැයි පෙන්වා දුන් ඒ මහතා නිල පොලිස් සුනඛ ඒකකය පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනය කොට තව දුරටත් ශක්තිමත් කරන බව කීවේය.

    පොලිස්පතිවරයාගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු වී ඇතැයි කී හෙතෙම 324ක් වන දැනට සේවය කරන නලධාරීන් ප්‍රමාණවත් නොවන නිසා සුදුසු නිලධාරීන් අනුයුක්ත කිරීමක් ද ඉදිරියේදී සිදුකරන බව ඔහු කීහ.

    පිළිකා වැනි රෝග හදුනාගැනීම සඳහා විදෙස්රටවල සුනඛයන් භාවිතා කරන බව පෙන්වා දුන් ඒ මහතා ශ්‍රී ලංකාව තුළ ද එවැනි ක්‍රියාවන් සඳහා සුනඛයන් පුහුණු කිරීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල, මහනුවර කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක, නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ කාංචන ගොඩකුඹුර යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.