රත්නපුර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරු දැරියන් පිරිසකට මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය, ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමාගම එක්ව සංවිධානය කළ විශේෂ වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව උදා විය.
මෙම වැඩසටහන කොළඹ නගරයේ සංචාරයකින් ආරම්භ වූ අතර, ඉන් අනතුරුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් ශ්‍රීලංකන් ගුවන් සේවයේ 747 ගුවන් යානා අංගණයේදී Airbus A320 ගුවන් යානාවක් සමීපව දැකබලාගැනීමට මෙම දරුවන්ට අවස්ථාව ලැබිණි.
ආපසු කොළඹ බලා පැමිණීමට පෙර මෙම දරු දැරියන් ගුවන් තොටුපළෙහි පිහිටි ‘පාම් ස්ට්‍රිප්’ (Palm Strip) ආපනශාලාවේදී ප්‍රණීත දිවා ආහාරවේලක රස බැලූ අතර, ඒ සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන ලද්දේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන්ගේ පරිත්‍යාගයන් තුළින් ක්‍රියාත්මක වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares) විසිනි.
“සෑමවිටම රටේ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් දැඩි ලෙස කැපවුණු ගුවන් සේවයක් වශයෙන්, අප මෙවරත් ලෝක ළමා දිනයේදී දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට පියවර ගත්තා. ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් යන අපගේ විශ්වාසනීය හවුල්කරුවන් සමග එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මගින් අප බලාපොරොත්තු වන්නේ, දරුවන්ගේ මුහුණුවල මතුවන සතුටු සිනා දැකගැනීම පමණයි. මෙය තම අනාගත සාර්ථකත්වය ළඟා කරගැනීමට දරුදැරියන් දිරිමත් කරනු ඇති බවත්, ඇතැම් විට ඔවුන් මතු දිනයක ගමනාගමන හා සංචාරක කර්මාන්තයට පිවිසීමට සලකා බලනු ඇති බවත් අප විශ්වාස කරනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලෙවිකරණ ප්‍රධානී සමින්ද පෙරේරා මහතා පැවසී ය.
“නැවත වරක් අපගේ සුවිශේෂී හවුල්කරුවන් සමග එක් වී, රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් වෙනුවෙන් සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කිරීමට හැකි වීම මට මහත් සතුටක්. මෙය ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරමින්, තම අරමුණු හා ඉලක්ක හඹා යාමට ඔවුන් දිරිගන්වනු ඇති බවත්, ඒ ඔස්සේ ඔවුන් රටට වැඩදායී සහ වගකීම් සහගත පුරවැසියන් බවට පත්වනු ඇති බවත් මා විශ්වාස කරනවා.” ඊබට් සිල්වා හොලිඩේස් සමාගමේ සභාපතිනි රාජිනී ද සිල්වා මෙන්ඩිස් මහත්මිය පැවසුවා ය.
“දරුවන්ගේ මුහුණුවල මතුවන දීප්තිමත් සිනහව දැකගැනීමට ලැබීම, අපගේ හදවත් උණුසුම් කරමින් අප තුළ බලාපොරොත්තු සහගත හැඟීම් ඇති කළා. මෙවැනි උදාර අරමුණක් වෙනුවෙන් අපගේ හවුල්කරුවන් සමග අත්වැල් බැඳගනිමින් මේ දරුදැරියන් වෙනුවෙන් සත්කාරයේ දෑත දිගුකිරීමට හැකි වීම අප ලැබූ සුවිශේෂී අත්දැකීමක් බව කියන්නට පුළුවන්.” ගාලු මුවදොර හෝටලයේ සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසී ය.
සවස් වරුවේ මෙම දරු දැරියන්ට ගාලු මුවදොර හෝටලයේදී පැවති තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමටත්, සංගීත කණ්ඩායමක සජීවී වාදනයන්ට සවන් දෙමින් නර්තනයේ යෙදෙමින් විනෝද වීමටත් අවස්ථාව ලැබිණි. එමෙන්ම වැඩසටහන අවසානයේදී ඔවුන්ට විශේෂ තෑගි කට්ටලය බැගින් පිරිනැමීමටද සංවිධායකවරුන් කටයුතු යොදා තිබිණි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රජා සත්කාර අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස්, ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමාගම 2023 ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනේ අංගයක් ලෙස, රත්නපුර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ 747 ගුවන් යානා අංගණයේ සංචාරයක යෙදීමට අවස්ථාව හිමි වූ අයුරු
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන්ගේ පරිත්‍යාගයන් තුළින් ක්‍රියාත්මක වන ශ්‍රීලංකන් කෙයාර්ස් හි පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ, මෙම දරුදැරියන් ගුවන් තොටුපළෙහි පිහිටි ‘පාම් ස්ට්‍රිප්’ (Palm Strip) ආපනශාලාවේදී ප්‍රණීත දිවා ආහාරවේලක රස බැලූ ආකාරය
ඊබට් සිල්වා හොලිඩේස් සමාගමේ අනුග්‍රහයෙන් කොළඹ නගරයේ සංචාරයක යෙදීමටත්, වැඩසටහන අවසානයේදී ගාලු මුවදොර හෝටලයේදී තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට සහ නැටුම් ගැයුම් වැයුම් තුළින් විනෝද වීමටත් මෙම දරුදැරියන්ට අවස්ථාව හිමි විය.