ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් ආනයනයට අනුමත කළ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔෟෂධ සමාගම් හිමිකරුවකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ විදේශ ගමන් තහනමක් පනවා තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් කුප්පි 22,500ක් ආනයනය කළ බවට චෝදනා එල්ල වී ඇති එම සමාගමේ හිමිකරුට ද අධිකරණය මගින් මෙහිදී විදේශ ගමන් තහනම පනවා ඇත.
මේ අනුව අදාළ විදේශ ගමන් තහනමක් පනවා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් / ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහ අදාළ ඖෂධ සමාගමේ හිමිකරු අරුණ දීප්ති යන තිදෙනාට ය.
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් රටින් පිටවීමට සූදානම් බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
අදාළ පුද්ගලයින්ට රටින් පිටවීම තහනම් කර ඇති බවට ආගමන විගමන පාලකවරයාට දන්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර ඇත.