fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයවරාය නගරයේ බිහිවන රැකියාවලින් 75% ක් ශ්‍රී ලාංකිකයන්ට දෙන්න අගමැති සූදානම්...

    වරාය නගරයේ බිහිවන රැකියාවලින් 75% ක් ශ්‍රී ලාංකිකයන්ට දෙන්න අගමැති සූදානම් වෙයි

    කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතු යැයි , රෙගුලාසියක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුුවේය.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ආරම්භ වු අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව සදහන් කළේය.

    විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින්ට නොමැති අවස්ථාවල දී එම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබාදිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලිකර දුන්නේය.

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයන් බහුතරයක් ශ්‍රී ලාංකිකයින් විය යුතු බව මෙන්ම එහි සභාපතීත්වය ද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතු බවට යෝජනාවක්ද පනත තුළින් ම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පුද්ගලයින් දෙලක්ෂයකට ආසන්න පිරිසකට මුල් වසර 5 තුළ දී රැකියා හිමිවන බවට තක්සේරු කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

    කොළඹ වරාය නගරය පදනම් කර ගනිමින් ඉදිරි වසර 5 තුළ දී අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව මෙන්ම ඉහළ පෙළේ ආයෝජකයින් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කළේය.

    මෙම පනත් කෙටුමම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පිළිගන්නා බව මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති නිර්දේශයන්ට අනුව පනතේ සංශෝධන දෙවැනි කියවීමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි. සියලු සහෝදර පක්ෂවලට ඇහුම්කන් දෙමින් තවත් සංශෝධන ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවද කියා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.