“රුසියාවට අලුත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමට ගෞරව සම්මාන ලබන මම අද නැගිටලා ඉන්නෙ ගාල්ලෙ මහින්දෙ නිසා” යැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, කැලණිය රාජමහ විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවැසීය.
වෛද්‍ය සමන් වීරසිංහ පදනමෙන් පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදානය- 2023 මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී ඊයේ(27) පැවැති අවස්ථාවේ හෙතම මේ බව සඳහන් කළේය.
ආර්ථික අපහසුතා හේතුවෙන් දිරියක් අවැසි දරුවන් වෙනුවෙන් 2007 වසරේ පටන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 600ක් පමණ ලබා දී ඇති වෛද්‍ය සමන් වීරසිංහ පදනම මෙවර ඒ සඳහා සිසුන් 25 දෙනෙක් තෝරාගෙන තිබිණි. ඔවුන් සඳහා අඛණ්ඩව වසර දෙකක ශිෂ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක ය.
මෙම ශිෂ්‍යත්ව 600 ඉදිරි වසර 4ක් ඇතුළත ශිෂ්‍යත්ව 1000ක් දක්වා වර්ධනය කිරීම වෛද්‍ය සමන් වීරසිංහ පදනමේ අපේක්ෂාව වී තිබේ.
මහින්ද විද්‍යාලයේ විදුහල්පති ආර්.එස්.එන් මද්දුමහේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි ශිෂ්‍යනායක සංගමය එක්ව මෙම සද් කාර්යය සංවිධානය කර තිබිණි.
“එදා ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා මහින්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි අවස්ථාවේ ස්තුති කතාව ඉදිරිපත් කළ මා ඉන් වසර 25ක් ගතවන තැන රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පූටින් හමුවීමට වරම් උදාකරගත්තා” යැයි වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසීය.
“මට රුසියාවෙන් ලැබුණු සම්මානයක එරටට අලුත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම ගැන සඳහනක් ඇතැයි කී වෛද්‍ය සමන් වීරසිංහ මහතා, එහි සඳහන් අලුත් අධ්‍යාපන ක්‍රමය එදා රුසියානු භාෂාවෙන් තිබුණු අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර හඳුන්වා දීම යැයි ද, ඉන් මුළු ලෝකෙම ශිෂ්‍යයන් රුසියාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණීමට පටන් ගත්තා” යැයි ද කියා සිටියේය.
“දැන් බලාගෙන යනකොට ඔක්කොම රුසියාව. රුසියාව නැති කෙනෙක් නැහැ. දැන් ඡන්දෙත් ළඟයි ඒ නිසා ඔක්කොම දේශපාලඥයො රුසියාව බදාගෙන ඉන්නෙ. මොකද මිනිස්සු අතරත් සමාජය තුළත් රුසියාවට ආදරයක් තියෙනවා ඒත් මමත් රුසියාවත් අතර සබඳතාව ඇතිවුණේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණු කාලයේ ඉඳලා” යැයි හෙතම කියා සිටියේය.
“පාසල් සමයේ පටන් ලොකු සිහින දකින්නැ”යි සිසුන්ට කී වෛද්‍ය සමන් වීරසිංහ මහතා තමන් ලද එවැනි අත්දැකීමක්ද සිහිපත් කළේය.
“කවදාවත් පොඩි සිහින දකින්න එපා. ලොකු සිහින තමයි දකින්න ඕන. එතකොට අර ලොකු දේ පොඩිවෙලා හරි ජීවිතයට ලැබෙනවා. උදාහරණයකට කිවුවොත් අපි මොස්කව් වෛද්‍ය විද්‍යාලයට යන කාලේ දවසක් අපි පයින් යනවා. මාත් එක්ක බංග්ලාදේශයේ, සිරියාව ඇතුළු වෙනත් රටවල ශිෂ්‍යයො හතරදෙනෙක් විතර එතැන හිටියා. ක්‍රිමිලිනය ගාවින් තමයි අපි පයින් යන්නෙ. මම එහෙම යන ගමන් කිවුවා කවදාහරි මේ ක්‍රිමිලින් එක ඇතුළට ගිහිල්ලා මේ රටේ නායකයා හමුවෙන එක තමයි කරන්න ඕන කියලා.
ඒ වෙලාවේ සිරියන් යාළුවා මට විහිළු කළා. හෙට අනිද්දා මානසික රෝග පිළිබඳ පාඨමාලාව එනවා. ඔය මොලේ අමාරුවට ඒකෙදි බෙහෙත් ටිකක් ගන්න කිවුවා.
ඒක කියලා අවුරුදු විස්සක් ගිය තැන මම ක්‍රිමිලනයට ගිහින් පූටින් ජනාධිපතිතුමා හමුවුණා. එදා මම අර යාළුවට කෝල් කරලා ඇහුවා අද ටී.වි එකේ මමයි ජනාධිපති පූටින්වයි ඉන්නවා දැක්කද කියලා. එයාට කතා කරගන්න බැරිවුණා. එයා කිවුවා මට ගොඩාක් සතුටුයි කියලා” වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසීය.
වෛද්‍ය සමන් විරසිංහ පදනමේ සියලුම ලියකියවිලි මේ වනවිට පාර්ලිමේන්තුවේ සභානායකතුමා ළඟ ඇති බවත් මේ වසර අවසන් වනවිට ඊට අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු ජනවාරි -පෙබරවාරි මාසය වනවිට මහින්ද විද්‍යාලයත් ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය නායක සංගමය එක් කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට අන්තජ්ජාතික වශයෙන් වැදගත් පොත පත අවශ්‍යතා අනුව සිසුන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන බවත් හෙතම කියා සිටියේය.
“මම මෙතන ඉන්න දරුවන්ගෙන්, ඉල්ලන්නෙ මුදල් නෑ සමාජ තත්ත්වය නෑ. ඒ නිසා මේ දේ අපට කරගන්න බෑ. කියලා කවදාවත් හිතන්න එපා. මේ ළඟදි මහතීර් මොහමඩ් ගෙ ජීවිත කතාව මම කියෙව්වා. එයා ලියලා තියෙනවා මම සාමාන්‍ය පවුලක ඉපදුණු කෙනෙක්. මාව හැමතැනින්ම කපලා දැම්මා කියලා. නමුත් සම්පූර්ණයෙන්ම මලයාසියාව වෙනස් කළ අගමැතිවරයා මහතීර් මොහොමඩ්. ඔහුගෙ ජීවිත කතාව කියවන වෙලාවේ මටත් සතුටක් ආවා. හේතුව මම ඉතාම සාමාන්‍ය පංතියකින් ආපු අයෙක්. අපේ තාත්තා මහින්ද විද්‍යාලයට ඇතුළත් කරන්න එදා විදුහල්පතිතුමාට කියපු වෙලාවේ මහින්දයට ගන්න බෑ කිවුවා නම් අද මම මෙතන නෑ. ඒකයි මම මහින්දයට ආදරය කරන්නෙ. වෙන හේතුවක් නිසා නෙමෙයි. මම අද නැගිටලා ඉන්නෙ මහින්දය නිසා” යැයි ද වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසීය.
විදුහල්පති ආර්.එස්.එන් මද්දුමහේවගේ,මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් කමල් නිශාන්ත, ආදි ශිෂ්‍යනායක සංගමයේ සභාපති නලීන් පරණගම සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රමේෂ් වරල්ලෙගම මහත්වරු උත්සව සභාව අමතා කතා කළහ.
ප්‍රවීණ මුද්දර ශිල්පී සනත් රෝහණ වික්‍රමසිංහ මහතා, මහින්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, ආදි ශිෂ්‍යනායක සංගමය නියෝජනය කරමින් එහි විධායක කමිටු සාමාජිකයන් හා විද්‍යාලයීය ශිෂ්‍යනායක මණ්ඩලය,ශිෂ්‍යත්වලාභී සිසුන් හා ඔවුන්ගේ දෙමාපියෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.






















