වැලිමඩ, කැප්පෙටිපොළ නගරයේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැන වැදී සාපරාධි බලහත්කාරකම් පෑම කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා කොළඹට පළාගොස් ඇතැයි වැලිමඩ පොලීසිය කියයි.
වැලිමඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන් ගුණරත්න (39372) සහ පොලිස් කොස්තාපල් අයින්කරන් (102770) යන නිලධාරීන් දෙදෙනා ඊයේ කැප්පෙටිපොළ නගරයේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් අසල පදික මාරුව අවහිර වන සේ මෝටර් රථයක් නවතා ඇති අයුරු දැක ඒ ගැන විමසිලිමත් වී ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ එම මෝටර් රථයේ රියදුරු නොමැති බවත් එය මාර්ගය අයිනේ නතරකර තබා ගොස් ඇති බවත්ය.
පදික මාරුව අවහිරවන සේ මෝටර් රථය නතරකර තබා ගොස් තිබීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් ඒ බව දැනුම්දීමේ පොලිස් දැන්වීම රථයේ ඉදිරිපස වාමුවේ ප්‍රදර්ශනයේ තබා රථවාහන හැසිරවීමේ රාජකාරියේ ඔවුන් දෙදෙනා නිරතව සිට ඇත.
එම අවස්ථාවේදී මෙම නිලධාරීන් අසලට පැමිණ ඇති වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇත්තේ පදික මාරුව අවහිර වන සේ නතරකර තිබෙන මෝටර් රථය අදාල රාජ්‍ය බැංකුවේ කලමනාකරුට අයත් එකක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීම වැරදි බවත් කියමිනි. එම අවස්ථාවේදී සභාපතිවරයා සිට ඇත්තේ බීමතින් බව පොලීසිය කියයි.