- මහනුවර ඝාතන ඉහළට
- නිවාස කොල්ලකෑම් බහුතරයක හොරා ප්‍රධාන දොරෙන්ම ඇවිත්
- අවවාද නොතකන අයගේ සියදිවි නසාගැනීම් වැඩියි
ගතවූ ඉකුත් මාස 09ක කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතන 21ක් සිදුව ඇතැයි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා පවසයි.
මහනුවර, ගම්පොල, ඇතුලු මහනුවර පොලිස් කලාපය තුළ මෙම මිනිස් ඝතන සිදුව ඇති බවත් පසුගිය සැප්තැම්බර් මසදී පමණක් ඝාතන 03ක් සිදුව ඇතැයි ඒ මහතා සඳහන් කරයි.
මනුෂ්‍ය ඝාතන සිදුකළ ආකාරය අනුව පුද්ගල මරණ 06ක් සිදුව ඇත්තේ කපා කොටා ඝාතනය කිරීමෙන් යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව කීවේය.
මෙම ඝාතන අතර 09ක් පොලු හා වෙනත් ආයුධවලින් පහරදීමෙන් ද 03ක් ගෙල මිරිකීමෙන් ද සිදුකර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීහ.
එමෙන්ම මෙම වසරේදී මහනුවර දිස්ත්‍රික්කය තුළ සියදිවි නසා ගැනීම් 242ක් සිදුව ඇතැයි කී ඒ මහතා තරුණ තරුණියන් අවවාද උපදෙස් නොතකා සුලු සිද්ධියක් පදනම් කර ගෙන දිවි තොර කරගන්නා අවස්ථා බහුලව වාර්තා වන බව ද කීහ.
ඒ අතර පුද්ගල මරණ 89ක් ගෙල වැල ගැනීම, 12ක් වස පානය කිරීම සහ 04ක් ගිනි තබා ගෙන දිවි තොර කර ගෙන ඇතැයි ඔහු කීවේය.
ගතවූ මාස 09ක කාලය තුළ අවුරුදු 16ට වැඩි ස්ත්‍රී දූෂණ 12ක් සහ බරපතල ලිංගික අපයෝජන 30ක් සිදුව තිබේ.
එම කාලය තුළ අවුරුදු 16ට අඩු ස්ත්‍රී දූෂණ 70ක් වාර්තාවී ඇතැයි කී ඒ මහතා ඉන් 37ක් පෙම්වතා විසින් සිදුකරන ලද දූෂණ යැයි ඒ මහතා කීහ.
බාල වයස්කාර පෙම්වතුන් නිවෙස්වල විරෝධතාව මත පැනගොස් විවාහ වන බව කී ඒ මහතා එවැනි විවාහ රැසක් අසාර්ථක විවාහ බවට පත්වී ඇතැයි ද මෙම රැස්වීමේදී පෙන්වා දුන්නේය.
මහනුවර දිස්ත්‍රික්කය තුළ නිවාස බිදුම් 549ක් සිදුවූ බව කී ඒ මහතා ඉන් 171ක් ප්‍රධාන දොරටුව කඩා ප්‍රවේශවීමෙන් සිදුවී ඇතැයි කීහ.
ජනේලය කැඩීම මගින් 184ක්, පිටුපස දොර කැඩීමෙන් 108ක් සහ වහලයෙන් බැසීමෙන් සිදුවූ නිවාස බිදුම් 34ක් මේ අතර සිදුව ඇතැයි ඔහු කීවේය.
ඉකුත් මාස 09ක කාලය තුළ ඉඩම් ආරවුල් සම්බන්ධ නඩු 4978ක්, පවුල් ආරවුල් නඩු 5660ක් පොලීසියට වාර්තාවී ඇතැයි කීවේය.
ඒ අතර 1975ක් බීමත්කම, 1904ක් අවිශ්වාසය හා සැකය, 640ක් නූගත්කම හේතුවෙන් සිදුවී ඇතැයි ද මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.