ඊශ්‍රායල – ගාසා තිරයේ යුද්ධය හේතුවෙන් ලෝක දේශපාලනයට සිදුවීමට යන පෙරළිය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (12) ගාල්ලේ දී පැවති “ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව” අමතමිනි.
ලෝක ශිෂ්ටාචාරය ඇරඹෙුණේ ඉන්දියන් සාගරයෙන් බවත්, මෙම සාගරය මුළුමනින්ම දේශපාලන සංවිධානය බවත් හෙතෙම එහිදී සිහිපත් කර දුන්නේ ය.
කෙසේවෙතත් ඉන්දියන් සාගරයේ නාවික නිදහස සහ මුහුද යට කේබල් නිදහස පිළිබඳ අප සහතික කරගත යුතුව ඇතැයි පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ විවිධ ක්ෂේත්රවල ආධිපත්‍ය වෙනස් වෙමින් තිබෙන ආකාරය ද දීර්ඝ ලෙස මෙහිදී විස්තර කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පහත කරුණු ද සිය දේශනයේදී ඉදිරිපත් කර තිබුණි.
ලෝක ශිෂ්ටාචාරය ඇරඹුණෙත් මෙතනින්
“ඉන්දියන් සාගරය ශිෂ්ටාචාරයක්. ලෝක ශිෂ්ටාචාරය බිහිවුයේ මෙතැනින්. මොහාන්දාස්ගේ සිට පාරාවෝවරුන් දක්වා අද අප සතුව ඇති සියල්ල මේ ශිෂ්ටාචාරයේ කොටසක්. ඒ වගේම එය ලෝකයේ හොඳම ආගම් බිහි කර ඇති ශිෂ්ටාචාරයක් බව ද කිව යුතුයි. හින්දු ආගමේ උපත, බුද්ධාගමේ උපත, සීක් ආගමේ උපත, ජෛන ආගම පැමිණියේ ශිෂ්ටාචාරයෙන්. ඉස්ලාම් ආගම පවා පැමිණියේ අරාබි අර්ධද්වීපයෙන්. එබැවින් මේ සියල්ල අපගේ චින්තනයේ ආධිපත්‍යය දරනවා.
ඒ වගේම බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය යනු කුමක්ද? එහි සාමාජිකයන්ගෙන් බහුතරයක් මේ කලාපයට අයත් වෙනවා. මේ එකිනෙකට ඉදිරියට යන සම්බන්ධතාවයන් තිබෙනවා. ඒ නිසා අපට ආවේණික ශිෂ්ටාචාරයක් ඇති අතර විවිධාකාරයේ ගොඩනැගීම් තිබෙනවා. ඉතින් අප මේ ගොඩනැගීම්වලට ගැලපෙන ලෙස කටයුතු කරන්නේ කෙසේද කියා විමසා බැලිය යුතුයි.
ඉන්දියන් සාගරය යනු ආසියා-පැසිෆික්, ඉන්දු-පැසිෆික් සහ එක් තීරයක්-එක් මාවතක් කියන මේ කිසිවකට අයත් නොවන දේශපාලනමය සංවිධානයක්. බොහෝ ශිෂ්ටාචාර ආරම්භ වූයේ මෙතැනින්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සහ බටහිර අධිරාජ්‍යයන්ගේ බිඳවැටීම සිදුවූයේ ද ඉන්දියන් සාගරයේ යි. කොළඹ සම්මන්ත්‍රණය, කොළඹ බලවතුන්ගේ සමුළුව, බැන්ඩුන් සමුළුව, අප්‍රිකානු-ආසියාතිකත්වය මතු කළේ ද මෙතැන සිටයි.නොබැඳි ජාතීන්ගේ සමුළුව ආරම්භ වූයේ ද මෙතැනින් බව කිවයුතුයි.”
නොදන්න අය මේකත් දැනගන්න
“එසේම දකුණ යන සංකල්පය ගොඩනැගුනේද මෙම ස්ථානයෙන්. ඒ නිසා අප මූලික ලෙසම දේශපාලන සංවිධානයක්. යටත් විජිතවාදය බිඳ වැටෙද්දී ලෝකයේ යුරෝපීය නොවන අංශවලට පිළිගැනීමක් ලබා දුන්නේ අපියි. ඔබ අප සියල්ලන්ම පිළිගත් ඉන්දියානු සාගර කලාපීය සාම යෝජනාව අප සතුව තිබෙනවා. ඒ වගේම දිවංගත ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සමාජ-ආර්ථික සහ අනෙකුත් සාමකාමී භාවිතයන් සඳහා ඉන්දියන් සාගරය පිළිබඳ සංකල්පය මෙන්ම ජකර්තා ගිවිසුම ද අප සතුයි. ඉන්දියන් සාගරයට අයත් ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් පිළිබඳ අවධානය යොමු කළහොත් ඒ හා සමානව, අනෙක් අතට, අපිට ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් ද හමුවෙනවා. ඒ නිසා ඉන්දියන් සාගරය තුළ විශාල ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ඇතිවෙමින් තිබෙනවා.
2050 පමණ වන විට අප්‍රිකාව වේගයෙන් වර්ධනය වනු ඇතියි. ඒ පිළිබඳ නොදන්නා අය 2063 අප්‍රිකානු න්‍යාය පත්‍රය කියවා බැලිය යුතුයි. ඒ අනුව එය තවත් විශාල ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතියි. ආසියා පැසිෆික් කලාපය නැතිවන බව ඉන් අදහස් වන්නේ නැහැ. නමුත් බටහිර, ආසියා පැසිෆික් සහ ඉන්දියාව යන ප්‍රධාන මධ්‍යස්ථාන තුන ඇතිවිය හැකියි.
එවිට වෙළඳාමේ දී අපේම අනන්‍යතාවයක් තිබෙනවා. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවට තිබෙන්නේ උපායමාර්ගික පිහිටීමක්. අප කොළඹ වරාය දියුණු කරනවා නම් එය විශාල කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් වෙනවා.”
ලංකාවට තවත් අලුත් වරායන් ඕන
“අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා නැගෙනහිර ඉන්දියන් සාගරය දියුණු වන විට එහි ප්රතිලාභ අපටත් ලැබෙනවා.
ඒ වගේම අප හම්බන්තොට වරාය අප්‍රිකාව සමඟ සම්බන්ධ කළහොත්, එය තවත් වාණිජ වරායක් බවට පත්වෙනවා. ශිෂ්ටාචාරය සහ වෙළඳාම පිළිබඳව ඇති දැනුම සමග අප එදෙස බැලිය යුතුයි. එසේ අවබෝධයක් නොමැති අය මේ පිළිබඳව විවිධ විවේචන එල්ල කරනවා. ඒ නිසා මෙම තත්ත්වයන් පිළිබඳ අප අබෝධයෙන් කටයුතු කළ යුතුයි. අපට වරායන් වැදගත්. අද ලෝකයේ ප්‍රධාන වරායන් අතරට ඩුබායි වරායත් එක්වෙමින් තිබෙනවා. ඒ සමඟ තවත් විශාල වරායන් ප්‍රමාණයක් එක්වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවට තවත් වරායන් ඉදිකළ හැකිනම් අප එය සිදු කරනවා. මෙම තරඟය තුළ අප සිටිය යුතුයි.”
අහස වගේම පිටියේ හයියත් වෙන වෙන අත්වලට
“ගුවන් සමාගම් පිළිබඳ කථා කරන විට මූලික වශයෙන් අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය ගුවන් සමාගමවල ආධිපත්‍යය දරනවා. ඒ වගේම කටාර් රාජ්‍ය අද ගුවන් තොටුපළ ක්ෂේත්රයටත් ඇතුළුවෙමින් සිටිනවා. එබැවින් ඔබට මෙම ක්ෂේත්රය තුළත් වර්ධනය වන නව ප්රවණතාවයන් දැකගැනීමේ හැකියාව තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්ථානය දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාව භාරගෙන අවසන්. විශේෂයෙන්ම අයි.පී.එල් තරගාවලියත් සමග ඉන්දියාව එය සිදු කළා. මෙරිලෙබෝන් ක්‍රිකට් සමාජය තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිවහන වන්නෙ නැහැ. ඒ පිළිබඳ දැනගන්න නම් අයි.පී.එල් තරගාවලිය නරඹන්න. ඒ වගේම සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය යුරෝපයේ පාපන්දු සමාජ අත්පත් කර ගැනීමට උත්සාහ කරන බව ඔබට පෙනේවි. ඉතින් මෙය දැන් සිදුවන නව තත්ත්වයයි.”
නාවික නිදහස – මුහුද යට කේබල් නිදහස අපිටත් ඕනෑ
“ආසියාවේ අප අද සෑම ස්ථානයකටම ගමන් කරමින් සිටිනවා. එම රාමුව තුළ අප ඉන්දු පැසිෆික් ප්‍රතික්ෂේප කරන බව ඉන් කියවෙන්නේ නැහැ, ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා.
ඉස්ලාම් ආගම දෙස බලන්න. එය මැද පෙරදිග සිට පැමිණ අද පිලිපීනය දක්වා විහිද තිබෙනවා. මම හිතන්නේ මේ කලාපයේ ඉස්ලාම් නොවන රටවල් තිබෙන්නේ හතරක් පමණයි.ඒ නේපාලය, භූතානය, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව පමණයි. ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදුදහම පිළිබඳ අවධානය යොමු කළහොත් එය මියන්මාරයට, තායිලන්තයට, ලාඕසයට, කාම්බෝජයට, දකුණු වියට්නාමයට පැතිරී ගියා. ඒ වගේම චීනය, ඉන්දියාව අතර සේද මාවතේ විශාල සම්බන්ධතාවයන් තිබෙනවා. ඉන්දියාව බුද්ධාගම රට පුරා ප්‍රචලිත කරා. චීනය මේ පැත්තට ආවා. ඒ නිසා මේ සෑම දෙයක් තුළම අන්තර් සම්බන්ධතාවක් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අපි ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියානු දැක්මට අනුව එය වෙනස් සාගර දෙකක් ලෙස පිළිගන්නවා. රාම් මහතා ප්‍රකාශ කළා එය වෙනම සාගරයක් කියලා. මෙය සුවිශේෂී සාගරයක්. ගෝලීය භූ දේශපාලනය තුළ අප ගනු ලබන ස්ථාවරය අපේ ගමන් මග තීරණය කරනු ඇතියි. නමුත් ඉන්දියන් සාගරයේ නාවික නිදහස සහ මුහුද යට කේබල්වල නිදහස පවතින බව අප සහතික කළයුතුයි. දැන් ඉදිරියට යාමට අප මූලිකත්වය ගත යුත්තේ ඒ නිසයි. ”
ඊශ්‍රායල -ගාසා යුද්ධයෙන් ලෝකෙට වෙන්න යන දේ..
“නව නැගී එන පිළිවෙල කුමක්ද? පසුගිය සතියේ මම විවේකීව සිටි අවස්ථාවක මෙම නව නැගී එන පිළිවෙල ගැන කතා කිරීමට කරුණු කිහිපයක් සටහන් කරගත්තා. නමුත් ඊයේ මම එය ඉරා දැමුවා. ඔය අතර සිදු වූ දේ මම අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඊශ්‍රායලයේ සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව දැන් සිදුවීමට යන දෙයට මෙය බලපානවා. දේශපාලනය එතැනට පැමිණ තිබෙන බව ඔබට පෙනෙනවා. ඊශ්‍රායලය දැනටමත් එක්සත් රජයක් පිහිටුවා තිබෙනවා. හමාස් සංවිධානය විනාශ කිරීම එක කරුණක්. ඔවුන්ට ඊට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගත හැකියි. නමුත් ගාසා තීරය විනාශ කළහොත් ලැබෙන ප්‍රතිචාරය මොකද්ද? පැය 24න් මුළු තත්ත්වයම වෙනස් වෙනවා.
මෙහි ආණ්ඩුවලට පාලනය කළහැකි කිසිවක් නැහැ. මෙතැන් සිට ඉන්දුනීසියාව දක්වා, හෝ වෙනත් ස්ථානවල වේවා, ආණ්ඩුවලට තත්වය පාලනය කිරීමේ හැකියාව අහිමි වෙනවා. මෙම සාකච්ඡාවලට සම්බන්ධ වුවාට මම කිසිවක් කියන්නේ නැහැ. නමුත් අපට කළ හැක්කේ කුමක් ද, එක අතකින් නැවත පහරදීමට අවශ්‍ය එක්සත් රජයක් ඊශ්‍රායලයට තිබෙනවා. ගාසා තීරය පිළිබඳ අවධානය යොමු කළහොත් මුළු මැදපෙරදිගම ගිනි ගන්නා නිසා එය මෙහි සිටින අප සැමට බලපානවා. එක් කෙළවරක තුර්කිය දක්වාත්, අනෙක් පැත්තෙන් පිලිපීනය දක්වාත් සිංජියෑන් ද ඇතුළු මධ්‍යම ආසියාවටත් එය බලපානවා.” යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී කීය.
“ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල” කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමුළුව අද (13) දිනයේ ද පැවැත්වෙයි. දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු “ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව” මෙම වසරේ දී පවත්වනු ලබන්නේ එකොළොස් වන වතාවටය. කලාපීය සහ ගෝලීය නායකයින් එකම වේදිකාවකට සහභාගී කරගෙන නාවික, පාරිසරික, සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවතක් ඇති කිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සහ ඊට විසඳුම් සොයා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම ජාත්‍යන්තර සමුළුව 2020 වසරේ සිට වසර දෙකකට වරක් පැවැත්වීමට සැලසුම් කර තිබුණත් පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එය පැවැත්වීමට නොහැකි විය.
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසුව පවත්වනු ලබන පළමු සමුළුව ද මෙය වේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් මෙහි දී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.