පවතින අවදානම් තත්ත්වය හමුවේ, මාතර ගංවතුර වැළැක්වීම සඳහා අත්තුඩාව ප්‍රදේශයේ ඉදිකර ඇති ජලය පිටාර ගලන ගල්බැම්ම නැරඹීමට ඒ අශ්‍රිත ප්‍රදේශවලට ජනතාවට පැමිණීමෙන් වලකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
මේ අතර නිල්වලා ගඟේ පහත්බිම්වල පවතින ගංවතුර තත්ත්වය අද (08) දිනය තුළ තවදුරටත් ඉහළයාමේ අවදානමක් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මාතර, අත්තුඩාවේ පිහිටි ගංවතුර ආරක්ෂණ ගල් බැම්මෙන් ජලය පිටාර ගැලීම ඊට හේතුවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, S. P. C. සුගිෂ්වර මහතා පැවසුවේ, මේ හේතුවෙන් ගඟ ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.
මාතර ගංවතුර වැළැක්වීම සඳහා අත්තුඩාව ප්‍රදේශයේ ඉදිකර ඇති ගල් බැම්ම ඊයේ (07) රාත්‍රී සිට වාන් දමයි.
අද (08) උදෑසන 9.00 පමණ වන විට එහි ජල මට්ටම සෙන්ටිමීටර 90 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙම ගල් බැම්මේ වාන් මට්ටම සෙන්ටි මීටර 79කි. ඒ අනුව සෙන්ටිමීටර 11ක් උසැති ජල කඳක් ගල් බැම්මට ඉහළින් ගමන් කරමින් තිබේ. මෙම බැම්ම මීටර 90 දිගැති බව පැවසේ.
ගල්බැම්ම වාන් දමන බව දැනගත් මොහොතේ සිට ප්‍රදේශවාසීන් විශාල වශයෙන් එය දැකබලා ගැනීමට එම ස්ථානයට රැස්වෙමින් ඇත.
ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් එලෙස පැමිණිම ඉතාමත් අනතුරුදායක බවයි. එබැවින් ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටියි.
ගල්බැම්ම ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලින් ජනතාවට ඉවත්වන්නැයි ඊයේ (07) සවස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට නිවේදනය කර තිබිණි.
මාතර අත්තුඩාව ගල්බැම්ම ආශ්‍රිත වත්මන් තත්ත්වය පහත ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප සමාජ ජාල ඇසුරිනි. අයිතිය මුල් හිමිකරුවන් සතුය. )