සොරකමක් වැලැක්වීමට ගිය බම්බලපිටිය, ද ෆොන්සේකා මාවතේ පිහිටි අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ අත පිහියකින් කපා සොරුන් පළාගොස් ඇත.
මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (17) අලුයම් කාලයේදී බව බම්බලපිටිය පොලීසිය සඳහන් කළේය.
මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිට පදිංචිකරුවන්ගේ සුඛෝපභෝගී ජිප් රථය නතරකරනු ලබන්නේ විනිසුරු නිල නිවස ඉදිරිපිට මාර්ගයේය.
විනිසුරු නිවසේ ආරක්ෂාවට යොදවා සිටි බම්බලපිටිය පොලීසියේ කොස්තාපල්වරයා ඊයේ අලුයම් කාලයේදී මාර්ගය දෙසින් ඇසුණු අමුතු සම්බන්ධයක් හේතුවෙන් ඒ ගැන විමසිලිමත් වී තිබේ. එහිදී එම නිලධාරියා දැක ඇත්තේ මාර්ගයේ නතරකර ඇති ජිප් රථයේ පැති කණ්නාඩි යතුරු පැදියකින් පැමිණි දෙදෙනක් විසින් ගලවමින් සිටින ආකාරයයි.
අපරාධයක් දැක එය බලා සිටීමට නොහැකි වූ තැන අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මෙම කොස්තාපල්වරයා ඒ අසලට යන විට එකවරම ඒ එක් අයෙක් පිහියක් අතට ගෙන නිලධාරියාගේ දකුණු අත කපා පළාගොස් ඇති බව පොලීසිය කියයි. එම නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත.