fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චැනල්-4 හෙළිකළ පාස්කු ඉරිදා ප්‍රහාරයේ කරුණු ගැන අගරදගුරු හිමි ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලයි

    චැනල්-4 හෙළිකළ පාස්කු ඉරිදා ප්‍රහාරයේ කරුණු ගැන අගරදගුරු හිමි ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලයි

    පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් බව පවසමින් බ්‍රිතාන්‍යයේ Channel-4 නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා වැඩසටහනේ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්, ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් විසින් සිදුකළ යුතු බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.

    රජය විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට සූදානම් වුවද, එම කමිටුව හරහා මෙම විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව කාදිනල් හිමියෝ පෙන්වා දී තිබේ.

    එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහායවීමට පත්කරන දේශීය විමර්ශන කණ්ඩායම ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ මූලික විමර්ශන සිදුකළ, මේ වන විට විවිධ ප්‍රදේශවලට මාරුකර සිටින විමර්ශකයින් පත්කළ යුතු බවද අදාළ නිවේදනයේ දැක්වේ.

    බ්‍රිතාන්‍යයේ චැනල්-4 නාලිකාව ඊයේ (05) රාත්‍රීයේ ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් එළිදැක්වීය.

    විනාඩි 50කට ආසන්න එම වැඩසටහන මගින් කීමට උත්සහ කොට ඇත්තේ දේශපාලන බලපෙරළියකට, එම පාස්කු ප්‍රහාරය පාර්ශ්ව කිහිපයක් විසින් සැලසුම් කළ බවකි.

    මෙම වැඩසටහනට බෙහෙවින් උපුටා දක්වා තිබුණේ, ග්‍රාමීය මාර්ග සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසන්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නියෝජනය කරන ලද දේශපාලන කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා කියූ කරුණු ය.

    අසාද් මවුලානා, මෙරට තුළ මූල්‍ය චෝදනාවලට ලක්ව මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙකි.

    එම වැඩසටහන තුළ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශයක් ද ඇතුළත් කොට තිබුණි.

    අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මේ පිළිබඳ අද නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

    ඔබේ අදහස් දක්වන්න.