fbpx
තවත්
    මුල් පිටුවspecialලොව ප්‍රථම වතාවට පිඹුරන්ගේ පණුවෙක් මිනිස් මොළයකින් හමුවෙයි (📹)

    ලොව ප්‍රථම වතාවට පිඹුරන්ගේ පණුවෙක් මිනිස් මොළයකින් හමුවෙයි (📹)

    ලොව ප්‍රථම වතාවට පිඹුරන්ගෙන් හමුවන සෙන්ටිමීටර 8ක වටකුරු පණුවෙක් මිනිස් මොළයෙන් එළියට ගත් පුවතක්, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයකු අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා රෝහලෙන් වාර්තා වෙයි.

    එය කැන්බරා රෝහලේ බෝවන රෝග වෛද්‍ය සංජය සේනානායකගේ වාට්ටුවේ තරමක් සාමාන්‍ය දිනයක් වූ අතර ස්නායු ශල්‍ය වෛද්‍ය සගයකු කඩිමුඩියේ ඔහු සොයා පැමිණියේය.

    “අනේ දෙයියනේ, මේ නෝනාගේ මොලේ මම මේ දැන් හොයාගත්ත දේ ඔයා විශ්වාස කරන එකක් නැහැ. ඒකට පණ තියෙනවා. ඒක දඟලනවා” මෙසේ පැවසුවේ වෛද්‍ය හරිප්‍රියා බාන්දි ය.

    ස්නායු ශල්‍ය වෛද්‍ය හරි ප්‍රියා බාන්දි සිය රෝගියාගෙන් සෙන්ටිමීටර 8ක් දිග පරපෝෂිත වට පණුවෙක් ඇදගෙන ඇති අතර, ඊළඟට කුමක් කළ යුතුද යන්න පිළිබඳ උපදෙස් සඳහා වෛද්‍ය සේනානායක සොයා දිවගොස් තිබේ.

    වෛද්‍ය සංජය සේනානායක, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති, කැන්බරා රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍යවරයකු සහ රෝහලේ අධ්‍යක්ෂවරයෙකි. ඔහු ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ද වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය හා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ ඒකාබද්ධ කථිකාචාර්යවරයෙකි.

    ගිනිකොනදිග නිව් සවුත් වේල්ස් හි 64 හැවිරිදි කාන්තාවක්, සති තුනක් තිස්සේ පැවති උදර වේදනාව සහ පාචනය, නිරන්තර වියළි කැස්ස, උණ සහ රාත්‍රී දහඩියකින් පෙළීමෙන් පසුව 2021 ජනවාරි මස අගදී ඇගේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලදී.

    2022 වන විට, ඇගේ රෝග ලක්ෂණ අතර, අමතක වීම සහ මානසික අවපීඩනය ද ඇතුළත් වූ විය.

    එම නිසා ඇය කැන්බරා රෝහල වෙත යොමු කිරීමට පොළඹවන ලදී. ඇයගේ මොළයේ MRI ස්කෑන් පරීක්ෂණයකින් ශල්‍යකර්මයක් අවශ්‍ය වන අසාමාන්‍යතා අනාවරණය තිබුණි.

    “නමුත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයා නිසැකවම සැත්කමට ගියේ දඟලන පණුවෙකු හමුවේවි යැයි සිතා නොවේ” වෛද්‍ය සේනානායක පැවසීය. “ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් නිතරම මොළයේ ආසාදන සමඟ කටයුතු කරනවා. නමුත් මෙය වෘත්තීය ජීවිතයේදීම එක්වරක් පමණක් කළ සොයා ගැනීමක්. කවුරුවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.” ඔහු කියයි.

    මේ විස්මිත සොයාගැනීම නිසා රෝහලේ සිටින කණ්ඩායමක් ඉක්මනින් එකතු වී එය කුමන ආකාරයේ වටකුරු පණුවෙක්ද යන්න අනාවරණය කර ගැනීමටත්, රෝගියාට අවශ්‍ය විය හැකි ඕනෑම ප්‍රතිකාරයක් වහා තීරණය කිරීමටත් පෙළඹුණි.

    “කැන්බරා කියන්නේ පුංචි තැනක් නිසා, අපි මේ ජීවී පණුවා කෙලින්ම යැව්වේ පරපෝෂිතයන් ගැන පළපුරුදු CSIRO විද්‍යාඥයකුගේ රසායනාගාරයට.” වෛද්‍ය සේනානායක මහතා පැවසීය. ‘ඔහු එය දෙස බලා, ‘මගේ දෙයියනේ, මේ ඔෆිඩස්කාරිස් රොබට්සි’ යැයි කීවේලු.

    Ophidascaris robertsi යනු සාමාන්‍යයෙන් පිඹුරන් තුළ දක්නට ලැබෙන වට පණුවෙකි. කැන්බරා රෝහලේ මිනිස් රෝගියකුගෙන් මේ පරපෝෂිතයා හමුවීම ලොව පළමු අවස්ථාව වූ සිදුවීමක් බව එහිදී හඳුනාගෙන ඇත.

    මෙම රෝගියා පදිංචිව සිටින්නේ පිඹුරන් වාසය කරන වැවක් අසල ය. සෘජුව සර්පයන් සමඟ සම්බන්ධයක් නොතිබුණද, ඇය බොහෝවිට වැව වටේ වැවෙන ඉවුම් පිහුම් සඳහා භාවිතා කිරීමට වොරිගල් කොළ ඇතුළු දේශීය තණකොළ එකතු කළ බවට අනාවරණය ‍කරගත් බව වෛද්‍ය සේනානායක පැවසීය.

    මෙම සිදුවීම සම්බන්ධ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ පිඹුරෙකු විසින් පරපෝෂිතයා උගේ මළපහ හරහා තණකොළවලට දමන්නට ඇති බවයි. ඇය තණකොළ ස්පර්ශ කිරීමේදී හෝ බිත්තර තම මුළුතැන්ගෙයි භාජනවලට මාරු කිරීමේදී හෝ කොළ ආහාරයට ගැනීමෙන් පසු රෝගියාට පරපෝෂිතයා ආසාදනය වී ඇති බව වෛද්‍යවරුන් විශ්වාස කරයි.

    ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ වෛද්‍යවරයකු වන සේනානායක මහතා පැවසුවේ රෝගියාගේ අක්මාව වැනි ශරීරයේ අනෙකුත් කොටස් ආක්‍රමණය කළ හැකි වෙනත් කීටයන් සඳහා ප්‍රතිකාර කළ යුතු බවයි.

    නමුත් මින් පෙර කිසිඳු රෝගියෙකුට පරපෝෂිතයන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කර නොතිබීම නිසා මෙහිදී ඉතා ප්‍රවේශම් වන බව වෛද්‍යවරයා කියයි. උදාහරණයක් ලෙස සමහර ඖෂධ කීටයන් මිය ගිය විට දැවිල්ල ඇති කළ හැකිය. දැවිල්ල මොළය වැනි අවයවවලට හානිකර විය හැක. එබැවින් ඕනෑම භයානක අතුරු ආබාධවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ඔවුන්ට ඖෂධ ලබා දීමටද අවශ්‍ය විය.

    ‘මේ රෝගී කාන්තාව, ඇය ඉතා ධෛර්යසම්පන්නයි වගේම පුදුම සහගතයි’ වෛද්‍ය සේනානායක පැවසීය. “පිඹුරන්ගෙන් හමුවන වටකුරු පණුවෙක් ඇති ලෝකයේ පළමු රෝගියා වෙන්න කාටවත් ඕන නෑ. අපි ඇත්ත වශයෙන්ම ඇයට ආචාර කරනවා. ඇය අපූරුයි”

    එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව, මිනිසුන් තුළ ඇති වන නව හෝ නැගී එන බෝවන රෝගවලින් 3/4ක් පැමිණෙන්නේ සතුන්ගෙනි.

    වෛද්‍ය සේනානායක පැවසුවේ, මෙම සිද්ධියෙන් පෙන්වාදෙන්නේ සතුන්ගෙන් මිනිසුන්ට රෝග සහ ආසාදන ඇතිවීමේ අන්තරාය බවයි. විශේෂයෙන් මිනිසුන් සහ සතුන් වඩාත් සමීපව ජීවත් වීමට පටන්ගත් දා සිට සහ මේ දෙපාර්ශ්වය එකට වාසය කිරීම වැනි දේ නිසාය.

    “පසුගිය වසර 30 තුළ ලෝකයේ නවආසාදන 30 ක් පමණ සොයාගත්තා” ඔහු පැවසීය.

    ‘සමහර වෙලාවට මිනිසුන් මියයන්නේ හේතුවවත් හොයාගන්නේ නැතුව’ ඔහු පැවසීය.

    ‘සතුන් හා පරිසරය එකට මුහුවන විටත් ඔබ ප්‍රවේශම් වීම වටී. එමෙන්ම ආහාර හොඳින් සේදීමෙන් සහ ආහාර නිසිලෙස පිසීමෙනුත් ඔබ ප්‍රවේශම් වේ. ඔබ සතුන්‍ගේ සපා කෑමට ලක් නොවන පරිදි දිගු අත් වැනි ආරක්ෂාවක් පැළඳීමෙන් යනාදියෙන් සැලකිලිමත් වීම ද වටී’ ඔහු පැවසීය.

    ඔබේ අදහස් දක්වන්න.