fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැමිණිලි ඉවරයක් නෑ: ටින් මාළුවල කොලිටිය සොයයි

    පැමිණිලි ඉවරයක් නෑ: ටින් මාළුවල කොලිටිය සොයයි

    වෙළෙඳපොළෙහි අළෙවි වන ටින් මාළුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ දේශීය ටින් මාළු නිෂ්පාදනය සැළකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇත.

    එසේවුවද පසුගිය වසරවලට සාපේක්ෂව ඒ සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් පහළ ගොස් ඇති බව සංඛ්‍යාත්මක දත්ත අනුව පෙනී යන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඊට හේතු වී ඇත්තේ එම ටින් මාළුවල ගුණාත්මක තත්ත්වය පහත මට්ටමක පැවතීම ය.

    ඒ අනුව වෙළෙඳපොලේ ටින් මාළු නිෂ්පාදනයන්හි ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන ආයතන ත්‍රිත්වය හරහා කඩිනම් ක්‍රියාවලියක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරන ලදී.

    ටින් මාළු සඳහා යොදාගන්නා මත්ස්‍යයාගේ පටන් එහි ඇසුරුම්කරණය දක්වා ප්‍රමිතිය පිළිබඳව හා දේශීය හා ආනයනික ටින් මාළුවල අන්තර්ගත ආසනික් ප්‍රමාණයන් සම්බන්ධයෙන් නිවැරදි ලෙස පරීක්ෂා කළ යුතු බව අමාත්‍යවරයා කීය.

    ඇසුරුම්කරණය කරන ලද ටින් මාළු ප්‍රමිතිය සම්බන්ධයෙන් හා මේ වන විට ක්‍රියාත්මක ටින් මාළු ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත සිය නිර්දේශ ඉදිරිපත් කරන බව ද සඳහන් කරන ලදී.

    වෙ‍‍‍ළෙඳ අමාත්‍යාංශයේ අරමුණ සෑම විටම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙරටට ආනයනය කරන ආහාර සඳහා තත්ත්ව සහතික ලබා දීමේ දී සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් බහාලුම් තුළ වැඩි කාළයක් එම ආහාර පැවතීමෙන් සිදුවන ආහාර හානියත්, ප්‍රමාද ගාස්තු ලෙස අමතර මුදලක් ගෙවීමට සිදු වීමත් නිසා ආනයනකරුවා විසින් අවසානයේ එහි පිරිවැයත් නිෂ්පාදනයට එක් කිරීම තුළින් පාරිභෝගිකයාට තවත් අමතර පිරිවැයක් දැරීමට සිදු වන බවත් සඳහන් කරන ලදී.

    එම හානිය අවම කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම සඳහා එලෙස ගෙවනු ලබන සම්පූර්ණ සිදු වන මූල්‍යමය පිරිවැය පිළිබදව වෙළෙඳ අමාත්‍යාංශයට සංඛ්‍යාත්මක වාර්තාවක් ලබා දෙන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට උපදෙස් දෙන ලදී.

    මෙම පියවර ගෙන ඇත්තේ, වෙළෙඳපොලේ පවතින දේශීය හා ආනයනික ටින්මාළුවල ප්‍රමිතිය, නිෂ්පාදනය හා පරිභෝජනය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (24) අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදී ය.

    ඔබේ අදහස් දක්වන්න.