fbpx
තවත්
    මුල් පිටුවCOVIDනිරෝධායන නීති කැඩුවට කුදලාගෙන යන්න එපා - පොලිස්පතිගෙන් නියෝගයක්

    නිරෝධායන නීති කැඩුවට කුදලාගෙන යන්න එපා – පොලිස්පතිගෙන් නියෝගයක්

    සෞඛ්‍ය උපදෙස් නොතකා මුඛ ආවරණ නොමැතිව මහ මග රැදී සිටින පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන ඔසවාගෙන නොයන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දිවයිනේ සියළුම පොලිස් නිලධාරීන්ට නියෝගයක් නිකුත් කර තිබේ.

    විරෝධත්වයක් නොදක්වා පොලීසි අණට කීකරුවන පුද්ගලයින්ව පවා බලහත්කාරයෛන් පොලිස් නිලධාරීන් ඔසවාගෙන ගොස් බස් රථවලට නන්වාගන්නා ආකාරයත් මුඛ ආවරණ නොමැතිව ඇතැම් ප්‍රභූන් පොලිස් නිලධාරීන් සමග එකට සිටින අයුරු සමාජ මාධ්‍ය ජාලා වල දැඩිව විවේචනයට සහ හාෂ්‍යට ලක්වීම මුල්කරගෙන ඉහළ උපදෙසකින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා එම නියෝගය නිකුත්කර ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

    මුඛ ආවරණ නොමැතිව අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙක් පොලිස් නිලධාරීන්ගේ අණට කීකරුවන අයුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වන රූපරාමුවල දකින්නට ලැබුණත් එවැනි පුද්ගලයින් පවා ඔසවාගෙන යාම ඉහළ දේශපාලන අධිකාරියේ දැඩි දෝෂ දර්ෂනයට ලක්ව ඇතැයිද එම තොරතුරු සදහන් කරයි.

    යාපනයේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුඛ ආවරණ නොමැති පුද්ගලයින් කිහිප දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පොලිස් අණට කීකරු නොවීම හේතුවෙන් ඔසවාගෙන ගොස් පොලිස් ජිප් රථයට නන්වා ගැනීමක් සමාජ මාධ්‍ය වල හුවමාරුවෙමින් ජනතාවගේ දැඩි අවධානයක් ඊට යොමු වීමත් සමග මුඛ ආවරණ නොමැති පුද්ගලයින්ව කැමරාව ඉදිරියේ ඔසවාගෙන යාමේ පොලිස් මෙහෙයුම් ආරම්භ විය.

    එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ව පොලිස් ස්ථානයට රැගෙන ගොස් පොලිස් සිරමැදිරියේ පැය කිහිපයක් තබා අධිකරණය හමුවේ පෙනී සිටීමට දිනයක් ලබාදී පොලිස් ඇප මත නිදහස් කෙරෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙසේ මුඛ ආවරණ නොමැති පුද්ගලයින් මෙන්ම වෙනත් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රදවා තැබෙන්නේ එකම සිර මැදිරියකය. කුඩා ඉඩකඩක විශාල පිරිසක් රදවා තැබීමෙන් කොවිඩ් අවධානමක් පවා පොලිස් ස්ථාන තුළ ඇතිවී තිබුණි.

    මේ ආකාරයෙන්ම පුද්ගලයන් ඔසවාගෙන යාමේදී ඔවුන් අතර ආසාදිතයකු සිටියහොත් පොලිස් නිලධාරීන්ට ද එය ආසාදනය වීමට අවදානමක් ඇති නිසා මෙම පියවර ගත් ගෙන ඇති බව පොලිසියේ නිල ප්‍රකාශයේ සදහන්ය.

    එසේම මෙලෙස අත්අඩංගුවට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට ඒ ආසාදනය වීමේ හැකියාවක් ඇති බවටද පොලිස්පතිවරයාගේ නියෝගයේ කියැවේ.

    මුව ආවරණ නොමැතිව තැන තැන රැඳී සිටින පුද්ගලයන් ඔසවා ගෙන නොයන ලෙසටත්, අත්අඩංගුවට ගන්නා පිරිස් එකම රථයක එක්රැස් නොකරන ලෙසටත් පොලිස්පතිවරයා සිය නියෝගයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.