fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය එක්කරන ජාවාරමක්

    කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය එක්කරන ජාවාරමක්

    තත්ත්වයෙන් බාල කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර නැවත සැකසුම් කිරීමේ ජාවාරමක් යුද හමුදා බුද්ධි අංශය විසින් හෙළිකරගෙන තිබේ.

    ඒ බව යුද හමුදා බුද්ධි අංශය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් දැනුවත්කර ඇත. ඒ අනුව විශේෂ කාර්ය බලකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් මෙම ජාවාරම සිදුවන ස්ථානයක් ඊයේ වටලා ඇත.

    කල්මුණේ පරණ මුහුදු වෙළ පාරේ ස්ථානයක පවත්වාගෙන ගිය මෙම ස්ථානය වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ගේද සහය ලබාගැනීමට විශේෂ කාර්ය බලකාය පියවර ගෙන ඇත.

    ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය (සල්පර් පවුඩර්) මීශ්‍රකර නැවත ඇසුරුම් කර අලෙවි කිරීම සඳහා වෙළද පොලට නිකුත්කරනු ලබන්නේ මෙම ස්ථානයෙන් බව එහිදී හෙළිවී ඇත.

    සල්පර් මිශ්‍ර කල කොත්තමල්ලි කිලෝ 2,125ක්ද, සල්පර් මිශ්‍ර කිරීමට සූදානම්කර තිබුණු කොත්තමල්ලි කිලෝ 82,750ක්ද, සල්පර් පවුඩර් කිලෝ 225ක්ද මෙහි තිබී සොයාගෙන ඇත.

    කල්මුණයිකුඩි 08 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ අමිපාර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි සාලිය බණ්ඩාර නවරත්න මහතා ඇතුඵ කණ්ඩායම වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අසෝක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ආර්.ඩබ්.වී.එස්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ අමිපාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව මෙම වැටලීමකර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.