රාත්‍රී රාජකාරියේ නිරතව සිටියදී නිල ඇදුමින් නිවසකට පැන කාන්තාවකට අඩත්තේට්ටම්කර ලිංගික අතවර සිදු කල බව කියන රඹුක්කන පොලීසියේ සැරයන්වරයෙකුව නිවැසියන් විසින් ගස් බැද පොලීසියට භාරදී ඇත.
රඹුක්කන පරපේ ඉහළගම පිහිටි නිවසකට මෙසේ මෙම නිලධාරියා මහා රෑ ඇතුළු වී ලිංගික අතවර කර ඇත්තේ 60 හැවිරිදි කාන්තාවකටය.
මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය. මෙම නිලධාරියා පොලිස් ජංගම රථයේ රාජකාරියේ යොදවා සිටියදී රාජකාරියේ නොසිට මෙම නිවසට හොර රහසේ ඇතුළු වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
නිවසේ කාමරයකට ජනේලයකින් රිංගූ මෙම පොලිස් සැරයන්වරයා එහි නිදාගෙන සිටි කාන්තාවට අතවර කරන්නට ගිය අවස්ථාවේදී ඇගේ කෑ ගැසීමේ හඩින් අවදි වූ නිවසේ සෙසු අය මෙම සැරයන්වරයාව අල්ලා පහරදී ගස් බැද 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දී ඇති බව පොලීසිය කියයි.
ඒ අනුව රඹුක්කන පොලීසිය එහි පැමිණ මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත. එහිදී අගෝස්තු 03 වෙනිදා දක්වා මෙම නිලධාරියාව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.