fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ මැද්දේ මාරකය ගැන රජයෙන් වහා පියවරක්

    කොළඹ මැද්දේ මාරකය ගැන රජයෙන් වහා පියවරක්

    spot_img

    ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට රජය නියෝග කර තිබේ.

    ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

    යම් ආකාරයකින් අනතුරක් සිදුවුවහොත් මෙහි වගකීම අමාත්‍යාංශය ඇතුළු රජයට පැවරේ.

    එබැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකරමින් පැවති ස්ථානයේ සවිකර ඇති ඉදිකිරීම් ආධාරක ඇතුළු උපාංග සුළඟට කඩා වැටී අනතුරු සිදුවීමේ අවදානමක් පවතී.

    ජලය එක්රැස්වීම හේතුවෙන් මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බවත් මෙහිදී සාකච්ඡා විය.

    විශේෂයෙන් මෙම ගොඩනැගිල්ලේ මහල් ත්‍රිත්වයක් පොළොව මට්ටමට පහළින් පැවතීම නිසා එහි වැසි ජලය එක්රැස්ව ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව ඇත.

    ඒ පිළිබඳ අවට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්වලින් පැමිණිලි ලැබී ඇති බවද නිලධාරීහු මෙහිදී අනාවරණය කළහ.

    ඒ අනුව මෙම ආයෝජකයා සමඟ සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නිශ්චිත කාලරාමුවක් තුළ නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුනි.

    ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ ආයෝජන සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ.

    මීට අමතරව, නාගරික සංවර්ධන අධිකාරියේ අවසරයෙන් පමණක් ගම්පහ සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතිය මේ වන විට අතරමග අත්හැර දමා ඇත.

    එය ඉදිරිකිරීම් ආරම්භ කර තිබුණේ පළාත් පාලන ආයතනවල මැදිහත්වීමකින් තොරවය.

    මෙම නිවෙස්වලට මාර්ග, ජලය සැපයීම, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු යටිතල පහසුකම් ද නිසි පරිදි ලබාදී නොමැති බවත් මෙහිදී හෙළි විය.

    මෙම ව්‍යාපෘතියට අවසර ලබාදී ඇත්තේ විශේෂ ව්‍යාපෘතියක් ලෙසයි.

    එය නියමිත ප්‍රමිතීන්ට අනුව සිදුනොකිරීම නිසා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ.

    පසුගිය මාර්තු මාසයේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය.

    ඒ අනුව, මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන සති දෙකක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියෝග කළේය.

    නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දෙන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img