fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්භික්ෂුවකට හා කතුන් දෙදෙනෙකුට පහරදෙමින් මුහුණුපොතේ නිරුවත දැමූ 4ක් අත්අඩංගුවට

    භික්ෂුවකට හා කතුන් දෙදෙනෙකුට පහරදෙමින් මුහුණුපොතේ නිරුවත දැමූ 4ක් අත්අඩංගුවට

    කඩුවෙල ඉහළ බෝමිරිය රාක්ෂපාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට කඩා වැදී විචිත්‍රවත් ධර්මදේශකයානන් වහන්සේ නමක් වන පල්ලේගම සුමන (44) හිමියන්ට සහ උන්වහන්සේ සමඟ ආවාස ගෙයි රැදී සිටි කතුන් දෙදෙනෙකුට පහරදෙමින් ඒ අයගේ නිරුවත වීඩියෝකරමින් මුහුණු පොතේ දැමූ සිව් දෙනෙක් නවගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සිදුවීම වී ඇත්තේ පෙරේදා (06) රාත්‍රී කාලයේදී බව නවගමුව පොලීසිය කියයි.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල ඉහළ බෝමිරියේ පදිංචිකරුවන් වන සනත් නන්දන (47), හර්ෂ එරංග (30), චමිල් කුමාර ගුණවර්ධන ((40) සහ කාවින්ද අරඹවත්ත (30) යන සැකකරුවන්ය.

    නවගමුව පොලීසිය සඳහන්කරනු ලැබුවේ මෙම සැකකරුවන් සිව් දෙනා ඊයේ (07) අලුයම් කාලයේදීම අත්අඩංගුවට ගත් බවය.

    නවගමුව පොලීසිය සඳහන්කරන්නේ මෙම විහාරස්ථානයේ වැඩ සිටින්නේ මෙම භික්ෂුව පමණක් බවය. කාන්තාවන් දෙදෙනෙක් එම විහාරස්ථානයේ සිටියදී ගම්වාසීන් විසින් මෙම භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහරදී තුවාල සිදුකර විහාරස්ථානයේ දේපොල වලට පහරදී අනර්ථයක්කර ඇති බවද පොලීසිය කියයි. මෙහිදී තුවාල ලැබූ භික්ෂුව සහ කාන්තාවක් රෝහල්ගතකර ඇති බවද පොලීසිය පැවසීය.

    එම අවස්ථාවේදී පොලීසිය විහාරස්ථානයට ගොස් එහි සිටි 22 හැවිරිදි කාන්තාවක් ඇගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භාරයට ගත් බවත් ඇය කැලණිය පිලපිටියේ පදිංචිකාරියක් බවත් පොලීසිය කියයි.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයද අද (08) මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන්කර තිබුණේ භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇති බව සඳහන්කරමිනි.

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    “භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී. භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පිරිසක් පොලු මුගුරුවලින් පහරදෙනු මෙහි අන්තර්ගතව ඇත.භික්ෂුවට ද ඇතැම් පිරිස් එහිදී පොලු මුගුරුවලින් පහර දෙනු දක්නට ලැබේ.

    මෙසේ නීතිය අතටගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ දින (2023.07.07 ) බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.“

    ඔබේ අදහස් දක්වන්න.