fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිම්ස්ටෙක් රටවල් සියල්ල දේශසීමා නැති සංචාරක කලාපයක් කරන්න ජනපතිගෙන් යෝජනාවක්

    බිම්ස්ටෙක් රටවල් සියල්ල දේශසීමා නැති සංචාරක කලාපයක් කරන්න ජනපතිගෙන් යෝජනාවක්

    බිම්ස්ටෙක් සංවිධානයේ රටවල් දේශසීමා රහිත සංචාරක කලාපයක් බවට පත් කළ හැකි බව ජනාධිපති වික්‍රමසිංහ මහතා පවසයි.

    වසරකට සංචාරකයන් මිලියන ගණනක් අප කලාපයට ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කිරීමෙන් බිම්ස්ටෙක් කලාපය විශාල සංචාරක කලාපයක් බවට පත්වෙන බව හෙතෙම අවධාරණය කර සිටී.

    ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුනි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා (06) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමිනි.

    සමුළුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “නව සැලසුම් ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂනීයම සංචාරක ගමනාන්තයක් බවට පත් කරන බව මම ඔබට සහතික වෙනවා.

    මෙම සමුළුවෙන් පසු අද මෙහි සිටින ඔබගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරාවි. එහිදී ත්‍රිකුණාමලයට ගොස් දක්ෂිණ කෛලාසය නැරඹීමට සහ කතරගමට ගොස් වෙල්ලමුරුගන් දෙවියන්ගේ සිද්ධස්ථානය නැරඹීමට ඔබ අතපසු නොකළ යුතු බව මම සඳහන් කරන්න කැමතියි.

    වෙල්ලමුරුගන් සිද්ධස්ථානය වසර 2000කට වඩා පැරණි, කලාපයේ පැරණිතම හින්දු සිද්ධස්ථානවලින් එකක්. ඒසේ නොමැති නම් යාපනයේ නල්ලූර් වෙත ගොස් එහි වාර්ෂික උත්සවය නැරඹීමට ඔබට පුළුවන්.ඔබ කඳුකරය සහ අනෙකුත් සුන්දර ස්ථාන දැක ඇති නමුත් මම සඳහන් කළ ස්ථාන ද නැරඹීම වටිනා බව කිවයුතුයි.

    නල්ලූර් උත්සවය සහ මහනුවර පෙරහැර අගෝස්තු මාසයේදී පැවැත්වෙනවා. එය අපේ සංස්කෘතිය ලොවට පෙන්වන මෙන්ම විශේෂ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට හේතු වෙනවා.

    අනිත් කාරණය තමයි ජනවාරි මාසයේ අපේ ගාලු සාහිත්‍ය උළෙල පැවැත්වෙනවා. දකුණු පළාතේ ගාල්ලේ සෑම නගරයකටම තමන්ගේම උත්සවයක් තිබෙනවා.

    හිරිකැටියේ වෙරළ විදේශිකයන් ආකර්ෂණ කරන ඩිස්කෝටේක් හා නවීන ජෑස් සංගීතය ද තිබෙනවා. මාතරදී සම්භාව්‍ය ගීත ප්‍රසංග රැසක් පැවැත්වෙන අතර ඊට අමතරව ජනවාරි මාසයේදී කොළඹදී අන්ද්‍රේය බෝචෙලිගේ ගායනයටද සවන් දිය හැකියි.

    ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදා ගන්නා විට ණය ප්‍රශස්තකරණය සිදු කළ යුතු වෙනවා. වෙළෙඳ ශේෂය අපට වාසිදායක නොවන බව අප තවමත් මතක තබා ගත යුතුයි. එබැවින් ඉදිරි කාලය තුළ අපි ධනාත්මක වෙළෙඳ ශේෂයක් සහතික කළ යුතුයි.

    ණය නොවන අරමුදල් රැස් කිරීමේ මාධ්‍යයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. එබැවින් එය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. දැනට සංචාරකයන් වාර්ෂිකව මිලියන 2.5ක් ලංකාවට පැමිණෙනවා. එය මිලියන 5ක් දක්වා වැඩි කිරීමට අප සැලසුම් සකස් කළ යුතුයි.

    සංචාරකයෙක්ට එක් රාත්‍රියකට ඩොලර් 1000ක් පමණක්වත් වියදම් කිරීමට අවශ්‍ය ආකර්ෂණීය වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. දකුණු ආසියාතික රටවල් අතරින් කුඩාම රට වන මාලදිවයිනෙන් අපට සංචාරක ව්‍යාපාරය පිළිබඳ ඉගෙන ගත හැකි දේ තිබෙනවා. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න අප තවත් ගොල්ෆ් පිටි 7ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනනවා.

    විශාල සංචාරක නිකේතන ඇති කිරීමට අවශ්‍යයි. දෙදුව ප්‍රදේශයට යාබදව, ජලාශ්‍රිත ප්‍රදේශයක අක්කර 1000කට වඩා වැඩි ප්‍රමාණයක් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට සුදුසු යැයි අප හඳුනාගෙන තිබෙනවා.

    හෝර්ටන් තැන්න අසල තවත් අක්කර 900ක් තිබෙනවා. එය හරිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායක කර ගනිමින් එහි සංචාරකයන්ගේ පහසුකම් වැඩිකිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම තවත් බොහෝ ස්ථානවල රාෆ්ටින් ක්‍රිඩාව සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට පියවර ගන්නවා.

    පසුගියදා ඔබ ඇල්ල දක්වා ගිය සුන්දර ගමනේ ආකර්ෂණීය අත්දැකීම ලොවට ගෙන යා යුතුයි. එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා.
    සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට සමගාමීව එහි ආදායම තවත් වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග සහ සංස්කෘතික අංගවලින් ශ්‍රී ලංකාව ආකර්ෂනීය සංචාරක ගමනාන්තයක් බව ලොවට පෙන්විය හැකියි.

    අපි නැගෙනහිර පළාත සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනයට කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට එහි මහල් නිවාසයක්, විලා එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සැපයීමට අප සූදානම්. ඒ අනුව නැගෙනහිර පළාතේ වෙළර තීරයේ සුන්දරත්වය විද ගත හැකියි.

    ඒ වගේම මෙම සංචාරක සැලසුම් ක්‍රියාත්මක කළ හැකි පරිදි නිති වෙනස් කිරීම අවශ්‍යයි. සංචාරක ක්ෂේත්‍රයෙන් ඉහළ ආදායමක් ලැබීමෙන් රටේ ආර්ථිකයට විශාල විදේශ විනියමක් උපයා ගත හැකියි. මෙයයි අප ඉදිරියට යා යුතු මාර්ගය. සංචාරක කර්මාන්තයට අදාළ මෙම සැලසුම් සකස් කළයුතුව තිබුණේ මීට දශක කිහිපයකට පෙරයි. නමුත් දැන්වත් අප මෙම කටයුතු ආරම්භ කළ යුතුයි.

    ඒ වගේම කලාපයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. නැගෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අපට වඩා සංචාරකයින් වැඩියි. ඒ නිසාම අප රටක් හෝ රටවල් කිහිපයක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නොකර සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය වීමෙන් වැඩි ඵලදායිතාවයක් ලබා ගත හැකියි.

    සංචාරක කර්මාන්තයෙන් විශාල ලෙස විදේශ විනිමය උපයා ගත හැකියි. නිවැරැදි සැලසුම් සහිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් ඉදිරි වසර 10 තුළ ඒක පුද්ගල ආදායම වර්ධනය කළ හැකියි. ඉදිරි දශකය තුළ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයෙන් විශාල විදේශ විනියමක් උපයා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.

    ඉතින් ඇයි අපි අපේ මුළු බිම්ස්ටෙක් සංවිධානයේ රටවල් දේශසීමා රහිත සංචාරක කලාපයක් බවට පත් නොකරන්නේ?

    මම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට ගොස් තිබෙනවා. එම ප්‍රදේශවලට ආවේණික කෑම වර්ග 60-70ක් අතර බිරියානි වර්ග හැම ප්‍රදේශයකම දක්නට ලැබෙනවා .
    අපේ මඩකළපුව ප්‍රදේශයට ගියහොත් විශේෂ බිරියානි වර්ගයක රස විඳීමට ඔබට අවස්ථාව ලැබෙනවා. අපි ඇයි එය අළෙවි නොකරන්නේ? තායිලන්ත ජාතිකයින් ඔවුන්ගේ ආහාර අලෙවි කර ඇති ආකාරය බලන්න. ඉන්දියාවේවත් නැති චිකන් ටික්කා මසාලා තායිලන්තය මාකට් කරනවා. එක් එක් ප්‍රදේශ වලට ආවේණික බිරියානි වර්ග සකස් කළ යුතුයි.
    අපි බිම්ස්ටෙක් කලාපය විවෘත කළ යුතුයි. ඇයි අපි බෙංගාල බොක්ක මුහුදු ගමන් සඳහා භාවිතා නොකරන්නේ? නැඟෙනහිර ආසියාවේ, ඉන්දියාවෙන්, අග්නිදිග ආසියාවෙන්, බටහිර ආසියාවෙන්, අප්‍රිකාවෙන් සංචාරකයන් පැමිණෙනවා නම් අපි ඔවුන්ට අවශ්‍ය පහසුම් සලසා දිය යුතුයි.

    මහාබලිපුරම්, ඔඩිෂා වැනි ස්ථාන යුරෝපීයයන් සහ අනෙකුත් සංචාරකයින් නැරඹිය යුතුයි. කොක්ස් බසාර් එක නැරඹීමට, අන්දමන් දූපත් හරහා ගමන් කිරීමට අවස්ථාව ලැබිය යුතු අතර, එය දැනටමත් ඉන්දියානුවන්ගෙන් පිරී තිබෙනවා. මියන්මාරය දෙස බලන්න. ඔවුන්ට අන්දමන් මුහුදේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කළ හැකියි.

    ඇයි අපේ සංචාරක සැලසුම් දැන් ආරම්භ කළොත් තවත් වසර 10ක් ගතවන විට අපට දියුණු සංචාරක කර්මාන්තයක් හිමි වෙනවා.

    සංචාරක ගමනාගමනය සඳහා අපට නිසි සැලසුම් නැත්තේ ඇයි? ඔබ ලුම්බිණියට ගිය පසු ඊළඟ ගුවන් යානය ඔබව බුද්ධගයාවට ගෙන යනවා. ඊළඟ ගුවන් යානය ඔබව කොළඹට ගෙන යා යුතුය. එවිට දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත හැකියි. අප එලෙස මෙම සැලසුම් සකස් කළ යුතුයි.

    වසරකට සංචාරකයන් මිලියන ගණනක් අපේ කලාපයට ගෙන්වා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ අනුව බිම්ස්ටෙක් කලාපය විශාල සංචාරක කලාපයක් බවට පත්වෙනවා.

    ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අවධානය යොමු කළ විට දැන් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙතරම් විශාල සාර්ථකත්වයක් ලබා තිබෙනවා නම්, ඇයි අපට එකට එකතු වී සංචාරක ව්‍යාපාරයෙන් විශාල සාර්ථකත්වයක් ලබා ගත නොහැකි. අපි සියලුදෙනා එකට එක් වී අපේ කලාපය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කර ජනතාවගේ ජිවිත සමෘද්ධිමත් කිරීමට කැප වෙමු”

    “දේශසීමා ඉක්මවා යාම ” තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව ජූලි මස 06 වනදා සිට 09 වෙනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.

    ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්ෂිත සහ ආකර්ශණිය ගමනාන්තයක් බව ලොවට හඳුන්වාදෙමින් පැවැත්වෙන මෙම සම්මේලනයට ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනෙක් පමණ එක්ව සිට.

    එය ආවරණය කිරීම සඳහා ඉන්දියානු මාධ්‍යවේදීන් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටීම ද විශේෂත්වයකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.