2001 වසරේ දී තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කළ සක් සුරීන් (මුතුරාජා) අද(02) උදෑසන නැවතත් සිය මවුරට බලා ගියේය.
අලුත්ගම කන්දේ විහාරයේ රඳවා සිටි මෙම 29 හැවිරදි හස්තියා තායිලන්තයට ආපසු රැගෙන යාමට කළ ඉල්ලිමෙන් අනතුරුව මුතුරාජා මාස කිහිපයක් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා තිබිණි.
මුතුරාජා රැගෙනයාමට රුසියාවේ ඉලුෂියන් 76 නැමති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය යොදා ගත් අතර, අද උදෑසන 7.30ට කටුනායක සිට තායිලන්තයේ බැංකොක් නුවර ෂියන්මායි ගුවන්තොටුපළ බලා යානය පිටත්විය.
සත්ත්ව හිංසනයට එරෙහි සමාජ ක්‍රියාකාරින් මුතුරාජාට සිදුවන හිංසන සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා කර තිබූ අතර, මෙරට තායිලන්ත තානාපතිවරයා ඒ සම්බන්ධව අවධානය යොමු කිරිමෙන් අනතුරුව මුතුරාජා ආපසු සිය රටට ගෙන ඒමට එරට රජය එකඟ කරගෙන තිබිණි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව කිලෝග්‍රෑම් 4,000 (රාත්තල් 8,800) බරැති මෙම හස්තියා කොළඹ සිට තායිලන්තයට ආපසු ගෙන්වා ගැනීම සඳහා තායිලන්ත රජය ඩොලර් 700,000 ක් වැය කර තිබේ.
ඒ අනුව 2001 වසරේ සක්සුරින් ලෙස මෙරටට පැමිණි මුතුරාජා ඉන් වසර 22කට පසු ආපසු සිය රට බලා ගියේ ශ්‍රී ලාංකික අප සියලුදෙනාට සිතන්නට බොහෝ දෑ ඉතිරි කරමිනි.







