fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් 22ක මානව හිමිකම් ආරක්ෂකයින්ට වූ දේවල් ගැන...

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් 22ක මානව හිමිකම් ආරක්ෂකයින්ට වූ දේවල් ගැන හෙළිදරව්වක්

    2021-2022 වසර තුළ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් 22ක අවම වශයෙන් මානව හිමිකම් ආරක්ෂකයින් 4,450ක්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සංවිධාන හා ප්‍රජාවන් ඇතුළුව, රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශව අතින් සිදු කෙරුනු හිංසනයන්හි බලපෑමට ලක් වී ඇති බව මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA) පවසයි.

    ආසියාව පුරා විහිදී සිටින මානව හිමිකම් ආරක්ෂකයින් විවිධාකාරයේ හිංසනයන්ට භාජනය වන බව එම සංසදය පවසන්නේ එමගින් අධීක්ෂණය කරන ආසියානු රටවල් 22 ක දත්ත විශ්ලේෂණය කරමින් නිකුත් කරන ලද නවතම වාර්තාව මගිනි.

    ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලා‍දේශය, කාම්බෝජියාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, කසක්ස්ථානය, කිර්ගිස්ථානය, ලාඕසය, මැලේසියාව, මාලදිවයින, මො‍ංගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව, නැඟනහිර තිමෝරය, තායිලන්තය, වියට්නාමය යන රටවල් අධීක්ෂණය කිරීම මගින් මෙම වාර්තාව සකස් කර ඇත.

    වසර දෙකකට වරක් FORUM-ASIA සංසදය මගින් නිකුත් කෙරෙන ‘Defending in Numbers: Rising Together Against All Odds’ ප්‍රකාශනයෙන් මේ කරුණු හෙළිකර සිටී.

    ශ්‍රී ලංකාව ඇතුළු ආසියාව තුළ රටවල් 23 ක් හරහා ක්‍රියාත්මක වන මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA) සාමාජික සංවිධාන 85 කින් සැදුම්ලත් ජාලයකි.

    එම රටවල් තුළ කටයුතු කරමින් සිටින මානව හිමිකම් ආරක්ෂකයින් අත්දකින, නොයෙක් ආකාරයේ අයුක්තීන් හා හිරිහැර පිළිබඳව මෙම වාර්තාව මගින් සංඛ්‍යාත්මක දත්ත වශයෙන් විශ්ලේෂණය කර තිබේ. මෙම ප්‍රකාශනය තුලින්, කලාපයේ මානව හිමිකම් ආරක්ෂකයන් මුහුණ පාන හිරිහැර සම්බන්ධයෙන් නැවත නැවත දක්නට ලැබෙන ප්‍රධාන රටාවන් හඳුනා ගනු ලබයි.

    2021-2022 වසර තුළ පමණක්, මානව හිමිකම් ආරක්ෂකයින්ට සිදුවූ හිංසනයන් 1,636ක් වාර්තා වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

    එම හිංසනයන් වැඩිම සංඛ්‍යාවක් මියන්මාරයෙන් වාර්තා වී ඇති අතර ඊළඟට තායිලන්තය සහ ඉන්දියාවේ හිංසනයන් ඉහළ බවට අදාළ වාර්තාව අනාවරණය කර තිබේ.

    එහිදී වැඩියෙන්ම ඉලක්ක කෙරුණු කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් ලෙස හඳුනා ගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

    ඊළඟ ස්ථානයට ඉලක්කගත කණ්ඩායම වන්නේ කාන්තා මානව හිමිකම් ආරක්ෂක ක්‍රියාකාරීනියන් ය.

    වැඩියෙන්ම වාර්තා වූ උල්ලංඝනය කිරීම ලෙස හඳුනා ගැනුනේ අධිකරණ ක්‍රියාවලියට අනුබද්ධ හිරිහැර බව එම වාර්තාවේ දැක්වේ. එවැනි වාර්තාගත සිද්ධීන් 1,033 ක් 2021-2022 වසර තුළදී අදාළ රටවල් 22 තුළ සිදුවී ඇතැයි වාර්තාවේ සඳහන් ය.

    දෙවන ස්ථානය ලෙස කායික ප්‍රචණ්ඩ ක්‍රියා හඳුනාගෙන ඇත්‍තේ වාර්තාගත සිද්ධීන් 516 සමඟිනි.

    ඉලක්කගත මිනීමැරුම් සිද්ධි 84 ක් මීට ඇතුලත් වන අතර මේ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා වැඩිම බලපෑමකට ලක්ව සිටියේ මාධ්‍ය ක්‍රියාකාරීන් බව ද එම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

    මානව හිමිකම් ආරක්ෂකයින් බිය වැද්දීම් හා තර්ජනය කිරීමේ අවස්ථා ද දිගින් දිගටම දක්නට ලැබී ඇති අතර ඊට අදාළ වාර්තාගත සිද්ධීන් 316 ක් අදාළ වසර තුළදී වාර්තා වී ඇත.

    මෙම වාර්තාව මගින් FORUM-ASIA යටතේ ඇති Asian_HRD_Portal_ලෙසින් හැඳින්වෙන ආසියානු කලාපයේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ දත්ත ගබඩාවට හසු කරගෙන ඇති, ඔවුන් මුහුණ පෑ හිංසනයන් කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි විශ්ලේෂණය කරයි.

    තවද, එය රජයන්, එක්සත් ජාතීන්ගේ සංවිධාන හා සමාගම් වෙත, මානව හිමිකම් ආරෂකයන් හට වඩාත් සාර්ථක ලෙස සහාය විය හැකි විධි පිලිබඳ නිර්දේශ සපයයි.

    COVID – 19 වසංගත තත්වය හා මුළු කලාපයම වෙලාගත් දේශපාලන කැළඹීම් හා විපර්යාසයන් නිසා නිර්මාණය වූ අලුත් අභියෝග හේතුකොට ගෙන, ආසියාව තුල දීර්ඝ කාලීනව පැවති ගැටලු තවත් උත්සන්න විය.

    ඒ සමඟ මෑත කාලයේ, ආසියාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දී ඇත.

    මෙමගින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් වැඩ කළ යුතුව ඇත්තේ ඔවුන්ට සතුරු වූ වටපිටාවක් තුළ බව එම වාර්තාව පවසයි. එසේ තිබියදීත්, මානව හිමිකම් ආරක්ෂකයින්, යුක්තිය හා සමානාත්මතාවය වෙනුවෙන් නිරන්තරව අරගල කර ඇති බව FORUM-ASIA සංසදය පෙන්වා දෙයි.

    2021 හා 2022 වසර තුල, මානව හිමිකම් ආරක්ෂකයන්, පෙර නොවූ විරූ තත්වයන්ට අනුගත වෙමින්, කලාපයේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ මුලික නියෝජිතයන් ලෙස ඔවුන්ගේ භූමිකාව තහවුරු කර ඇති බව එම සංසදය පවසයි.

    FORUM-ASIA හි විධායක අධ්‍යක්ෂිකා වන මේරි අයිලීන් ඩී. බකල්සෝ පවසා සිටියේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ ප්‍රකාශනය ඒකමතිකව පිළිගැනීමෙන් වසර 25ට පසුව, තවමත් සිදුවෙමින් පවතින, මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි හිංසනයන් ගැන කියවන මෙවැනි වාර්තාවක් එළිදැක්වීමට සිදුවීම කනගාටුදායක බවයි.

    සාමකාමී ක්‍රියාමාර්ග හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සිදු කරන ඕනෑම පුද්ගලයෙක් ආරක්ෂකයෙක් වේ.

    ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ආරක්ෂකයන්, කාන්නා මානව හිමිකම් ක්‍රියාකාරිනියන්, මාධ්‍ය ක්‍රියාකාරීන්, ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා අයිතීන් ආරක්ෂකයන්, භුමිය, ආදිවාසීන්, සොබාදහම ආශ්‍රිත ප්‍රජා – මූල අයිතීන් ආරක්ෂකයන්, ශිෂ්‍ය හා කරුණ අයිතීන් ආරක්ෂකයන්, රාජ්‍ය – නොවන සංවිධාන, සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂකයන් සහ කලාකරුවන් වැනි අය මීට ඇතුලත් වේ.

    නවතම දත්ත ඉදිරිපත් කරමින්, මානව හිමිකම් ආරක්ෂකයන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම, එම සංසදයේ ඉල්ලීමයි.

    මානව හිමිකම් ආරක්ෂකයන් ආරක්ෂාවට හා ඔවුන්ට සහාය දැක්වීමට ඔවුන්ගේ කාර්යභාරය නිදහස් ව හා ආරක්ෂිතව සිදු කිරීමට මෙන්ම බිය, තර්ජන හා හිරිහැර කිරීම් වලින් තොරව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය අනුබල දීම හරහා, රජයන් බැඳී සිටින අන්තර්ජාතික සම්මුතීන් වලට බැඳීම් වලට – විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන් පිලිබඳ ප්‍රකාශය (UN Declaration on HRDs) යටතේ වගවන ලෙසට FORUM-ASIA සංසදය ඒ ඒ රටවල රජයන් ගෙන් ඉල්ලා සිටි.

    තවද, සියලු මානව හිමිකම් ආරක්ෂකයන් වහාම නිදහස් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඉවත් කරන ලෙසත් එම සංසදය වැඩිදුරටත් ඉල්ලා සිටි.

    FORUM- ASIA පර්යේෂණ කටයුතු, ප්‍රවර්ධන කටයුතු, ධාරිතා වර්ධනය හා සහයෝගිත ක්‍රියා පිළිවෙත් හරහා මානව හිමිකම් හා තිරසාර සංවර්ධනය උදෙසා වූ ව්‍යාපාර ශක්තිමත් කිරීමට 1991 වසරේ පිහිටුවන ලදී. FORUM-ASIA සංවිධානය එක්සත් ජාතීන්ගේ ආර්ථීක හා සමාජයීය කවුන්සිලය සමඟ උපදේශක තනතුරක් ද, ASEAN මානව හිමිකම් සම්බන්ධ අන්තර් කොමිසම සමග උපදේශනාත්මක සම්බන්ධතාවක් ද පවත්වයි.

    ‘Defending in Numbers: Rising Together Against All Odds’ සම්පූර්ණ වාර්තාව මෙතැනින් .

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.