fbpx
තවත්
    මුල් පිටුවspecialආගම -දර්ශනය සහ නිරාගමිකයෝ

    ආගම -දර්ශනය සහ නිරාගමිකයෝ

    දර්ශනයක් යනු යම් දාර්ශනිකයෙකු ඉදිරිපත් කරන අදහස් සමූහයකි. එම අදහස් යම් අනුගාමිකයන් පිරිසක් පිලිගැනීම හරහා සමාජගත වේ. බිහිකළ දර්ශනයේ වැදගත්කම පිලිබඳ ව සමාජයේ පිලිගැනීම වැඩිවත්ම එය සමාජය තුල මුල් බැස ගැනීමට ලක්වේ.

    යම් දර්ශනයක් ආධ්‍යාත්මික වටිනාකමක් සහිතව සමාජගත වන්නේ නම්, එය ආගමක් ලෙස සමාජය තුල මුල් බැස ගනු ඇත. ආගමක් සමාජය තුල මුල් බැස ගැනීමට ආගමික සංස්ථාවක් ඇතිවිය යුතුය. එම ඇතිවූ ආගමික සංස්ථාව, සමාජය තුල පිලිගැනීමට ලක්වීම සහ පාරම්පරිකව පවත්වාගෙන යා හැකිවිය යුතුය. ආගමික සංස්ථාව යම් ධූරාවලියක් සහිතව සමාජගත විය යුතුය. ලොව ඇතිවූ සියළුම දර්ශනයන් ආගමක් ලෙස රූපාන්තරණය වී නොමැත්තේ එහෙයිනි.

    ආගමක් පදනම් වී ඇත්තේ යම් දර්ශනයක් මතවේ. එය සමාජගත වීමට ආගමික සාහිත්‍යයක් සහ ඇදහීමේ ක්‍රම මූලික දර්ශනය වෙත එකතු කිරීමට ආගමික නිර්මාපකයෝ කටයුතු කරති. ආගමක නිර්මාපකයෝ යනු මුල් දාර්ශනියාගේ අනුගාමිකයන් වීමට ඉහල සම්භාවිතාවක් ඇත. එම ක්‍රියාවලි, මූලික දර්ශනය සමාජගත කිරීමටත්, පරම්පරානුගතව පවත්වා ගැනීමටත් ඉවහල් වේ.

    සමහර සාහිත්‍යමය කරුණු මූලික දාර්ශනිකයාගේ දැක්ම හුදී ජනයාට පහසුවෙන් අවබෝධ කරගැනීමට මූලික දාර්ශනිකයා විසින් හෝ අනුගාමිකයන් විසින් දේශිතව, සහ පාරම්පරිකව ගෙන එන්නාවූ කරුණු සමූහයකි. සමහර ආගමික සාහිත්‍යමය කරුණු විමසා බැලීමේදී ඒවා දාර්ශනිකයා “අතිමානුෂීය කරවීමට සහ දාර්ශනිකයා උත්කර්ෂයට නැංවීමට” එක්කරනු ලැබූ සාහිත්‍යමය කරුණු වේ. එම සාහිත්‍යමය කරුණු කාලානුරූපව විවේචනයට ලක්වීම ලෝක ධර්මතාවක් වේ.

    නිරාගමිකයින් යනු යම් ආගමික ඇදහීමක් නොකරන ජනකොටසක් වේ. ඔවුන් යම් දර්ශනයක් මත තම ජීවිතය සකසා ගැනීමට හෝ කිසිම දර්ශනයකට නොඇලී, නොගැටී ස්වාධීනව තම ජීවිතය හසුරවා ගන්නා පුද්ගලයින් වේ.

    එහෙත් ලෝකය පුරා සිටින්නාවූ නිරාගමිකයින් යැයි සිතාගන්නා සමහර අය තම සමාජ-දේශපාලනික දර්ශනයේ ව්‍යාප්තිය හට “ආගම” අතිමහත් බාධාවක් ලෙස අදහති. නමුත් ඔවුන් සත්‍ය වශයෙන්ම නිරාගමිකයින් නොවෙති. ඔවුන් තම “සමාජ දේශපාලනික දර්ශනය” ආගම කොටගෙන ජීවත්වන ආගමිකයින් පිරිසකි!.

    නියම නිරාගමිකයා ලෞකික හෝ ලෝකෝත්තර ඇදහීමකින් තොරව නිදහස්ව ජීවත්වන අයෙකි. ඔහු හෝ ඇය තමා නොපිලිගන්නා දර්ශන හේතුවෙන් ලේ කුපිත නොකරගන්නා අයෙකි. ලෝක ධර්මතාව තේරුම් ගෙන තම ජීවිතය අනවශ්‍ය ලෙස කිළිටි නොකර ගන්නා අයෙකි.

    ලේඛකයා විශ්වාස කරන නිරාගමික දර්ශනය වන, බෞද්ධ දර්ශනයට අනුකූලව සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යය වේ. සංස්කාර ධර්මයෝ යනු, අප විසින් අවට ලෝකය තේරුම් ගැනීමට ගොඩනංවන තර්ක වේ. ඒ පිළිබඳව ආත්මගතව ඇලීමට හෝ ගැටීමට යාමෙන් දුක ඇතිකර ගැනීම මෝඩ කමකි.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.