fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසොන් සිරියෙන් රටම බැබළෙයි

    පොසොන් සිරියෙන් රටම බැබළෙයි

    මෙරටට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.

    ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකවරයාත් බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

    දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදුවූයේද අද වැනි පොසොන් පොහොය දිනක බව සඳහන් වේ.

    මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිම මුල්කරගනිමින් පැවැත් වේ

    ජාතික පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාවය සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජලය ඝන මීටර් 30,000ක් සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කටයුතු කරයි. එහිදී පොම්ප සවි කිරීම, දන්සැල් කලාප සඳහා ජල නළ දීර්ඝ කිරීම, අනුරාධපුර පූජා නගරය, මිහින්තලය හා තන්තිරිමලය පුදබිම් අවට ජල කරාම 400ක් ස්ථාපනය, ජල බවුසර් මගින් ජලය සැපයීම, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් ඉදිකරන තාවකාලික වැසිකිළි පද්ධති සඳහා ජල නළ දීර්ඝ කර ජලය සැපයීම, බැතිමතුන් සහ සිල්සමාදන් වන සැදැහැවතුන් එකතුවන ස්ථාන සඳහා ජල ටැංකි සහ කරාම පද්ධති ස්ථාපිත කිරීම හා මිහිඳු පෙරහරෙහි ගමන් කරන අලි ඇතුන් සඳහා පෙරහර මාර්ගයේ ඇති යකඩ ටැංකි සඳහා ජලය සැපයීම ආදී කාර්යයන් ජලප්‍රවාහන මණ්ඩලය මගින් සිදු කරයි.

    එමෙන්ම මිහින්තලය, තන්තිරිමලේ, සඳ හිරු සෑය ඇතුළත් අනුරාධපුර පොසොන් කලාපය ඉදි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    පොසොන් පොහොය නිමිත්තෙන් අද (03) දිනයේ විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ ලංගම බස් සේවා ක්‍රියාත්මක බවයි.

    මේ අතර අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේ ය.

    පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 2500ක් ඒ සඳහා රාජකාරියේ යොදවා ඇති බවයි.

    අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජලාශ ආශ්‍රිතව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 355 දෙනෙක් ද සේවයට යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

    පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය.

    මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් අද (03) දිනයේ බන්ධනාගාරගත සිරකරුවන් 440 කට ජනාධිපති විශේෂ රාජ්‍ සමාව හිමවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

    සිරකාරියන් 06 ක් ද ඊට ඇතුළත් වේ.

    දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් 440 කට එලෙස ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.