fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන නියෝජ්‍ය ඇමතිගෙන් මල්වතු මහනාහිමිට පොරොන්දුවක්

    චීන නියෝජ්‍ය ඇමතිගෙන් මල්වතු මහනාහිමිට පොරොන්දුවක්

    ආර්ථික අර්බුදයෙන් මිදී සංවර්ධන මාවතට ශ්‍රී ලංකාව ප්‍රවේශ කරවීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය චීන රජය ලබා දෙන බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය සෑන් වෙයිඩොන්ග් මහතා පවසයි.

    පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට නුදුරේදීම අවස්ථාව හිමිවනු ඇතැයි ද හෙතෙම කීය.

    සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදාගත් අතර අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ඊයේ (01) බැහැදුටුවේය.

    බුද්ධාගම මුල් කර ගත් ද්විපාර්ශවීය සම්බන්ධයක් පවතින ශ්‍රී ලංකාව එම සබඳතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යන බව ද ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාව දුෂ්කරතාවට පත් වූ සෑම අවස්ථාවකදීම චීනය උපකාර කළ අයුරින් මෙම ආර්ථක අර්බුදයේදීද උපකාර කරන බව නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කීවේය.

    එක් මාවතක් – එක් තීරයක් යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාව යෙදී ඇත්තේ ඉතාමත් වැදගත් ස්ථානයක යැයි ද ඒ මහතා කීහ. චීන විහාරස්ථාන හතක් මූලික වී ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ 20000 කට සහ ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 50000 කට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදුන් බවත් ඒ ආකාර වැඩසටහන් ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන බවත් චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සෑන් වෙයිඩොන්ග් (H.E. San Weyidong) මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    එහිදි අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් චීන වරාය නගරය වැනි ව්‍යාපෘති ඔස්සේ චීනය ශ්‍රී ලංකාවේ විශාල ආයෝජන දියත් කළ බවත් ඒ අයුරින් ඉදිරියේදීත් චීන රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

    පාහියන් භික්ෂුවගේ වැඩම කිරීමත් සමඟ ශ්‍රී ලංකාව හා චීනය අතර පැවැති සම්බන්ධතා වඩාත් තිව්‍ර වූ බවත් ලක්දිව මෙහෙණි සසුණ පිහිටවනු ලැබුවේ චීනයේ මූලිකත්වයෙන් බවත් මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.