fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශ රැකියා ක්ෂේත්‍රයට ශ්‍රීලංකන් වෙතින් අලුත් වැඩක්

    විදේශ රැකියා ක්ෂේත්‍රයට ශ්‍රීලංකන් වෙතින් අලුත් වැඩක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගම විදේශ රැකියා සමාගම් වෙනුවෙන් ප්‍රතිලාභ රාශියක් සහිත පාරිභෝගික ළැදියා වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රමිකයන්ට විදේශ රැකියා අවස්ථා උදාකර දීමට අමතරව බොහෝ විට මෙම විදේශ රැකියා සමාගම් විසින් එම ශ්‍රමිකයන්ගේ ගුවන් ගමන් කටයුතුද සංවිධානය කරනු ලබයි. මෙම ක්ෂේත්‍රය රටට ඩොලර් මිලියන ගණනින් විදේශ විනිමය රැගෙන එන ක්ෂේත්‍රයක් වන බැවින්, මේ ආකාරයට පාරිභෝගික ළැදියා වැඩසටහනක් හඳුන්වා දීමට අමතරව විදේශ රැකියා සමාගම්වලට සහය වීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.

    විශේෂයෙන්ම මැද පෙරදිග රටවලට ශ්‍රමිකයන් යැවීමේදී ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගැනීමට විදේශ රැකියා සමාගම් විශේෂ උනන්දුවක් දක්වයි. ශ්‍රීලංකන් ගුවන් සේවය මැද පෙරදිග කලාපයේ රටවල් රැසක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මීට ප්‍රධානතම හේතුවකි. මේ ආකාරයට දිගින් දිගටම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවාවන් භාවිතා කරන විදේශ රැකියා සමාගම්වලට කෘතගුණ සැලකීම සඳහා මෙම පාරිභෝගික ළැදියා වැඩසටහන හඳුන්වා දී තිබේ. මෙහි සාමාජිකයන්ට ගුවන් යානාවලදී අලෙවිකරනු ලබන තීරුබදු රහිත භාණ්ඩ සහ ගුවන් ටිකට්පත් සඳහා විශේෂ වට්ටම් ඇතුළු තවත් ප්‍රතිලාභ රාශියක් හිමි වනු ඇත.

    “ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මේ ආකාරයට විදේශ රැකියා සමාගම් වෙනුවෙන්ම සැලසුම් කළ පාරිභෝගික ළැදියා වැඩසටහනක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය දෙපාර්ශ්වය අතර පවතින සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වේවි.” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු (ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සාගරය) ජයන්ත අබේසිංහ මහතා පැවසී ය.

    “අතිශය දුෂ්කර අවස්ථාවලදී පවා විදේශ රැකියා සමාගම් සහ විදේශ ශ්‍රමිකයන් සමග සමීපව කටයුතු කරමින්, ඔවුන්ගේ ගුවන් ගමන් අවශ්‍යතා සපුරාලීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා. COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලවලදී, විදේශ රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ රැකියා සමාගම්වලට අප විශාල සහයෝගයක් ලබාදුන්නා. මේ පාරිභෝගිකයන් කාණ්ඩය අපට අතිශයින් වැදගත්. ඔවුන් වෙනුවෙන් මේ ආකාරයට පාරිභෝගික ළැදියා වැඩසටහනක් හඳුන්වා දීමට අප පියවර ගත්තේ ඒ නිසයි.” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.

    විදේශ රැකියා සමාගම් 100 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව මෑතකදී පැවැත්වුණු විශේෂ සම්මන්ත්‍රණයකදී මෙම පාරිභෝගික ළැදියා වැඩසටහන නිල වශයෙන් නිවේදනය කරන ලදි. ඒ සඳහා එම විදේශ රැකියා සමාගම්වල නියෝජිතයන් වෙතින් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. මේ වනවිට විදේශ රැකියා සඳහා රට තුළ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන පසුබිමක් තුළ දිගින් දිගටම විදේශ රැකියා සමාගම් සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම බලාපොරොත්තු වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.