fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උද්ධමනය අඩුවෙයි -වෛද්‍ය හා පන්ති ගාස්තු වැඩිවෙයි

    උද්ධමනය අඩුවෙයි -වෛද්‍ය හා පන්ති ගාස්තු වැඩිවෙයි

    ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව ගෙවී ගිය අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 15.6කින් අඩු වි තිබේ.

    එහෙත් අප්‍රේල් මාසයේ රෙදිපිළි, පාවහන්, සෞඛ්‍ය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු),විනෝදාත්මක හා සංස්කෘතික,අභ්‍යාස පොත් හා ලිපි ද්‍රව්‍ය, අධ්‍යාපන (පෞද්ගලික උපකාරක පන්ති ගාස්තු) කාණ්ඩයේ මිල වැඩිවීමක් වාර්තා වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අප්‍රේල් මාසය සඳහා වන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ සඳහන් වේ.

    ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරනු ලබන අතර, 2023 අප්‍රේල් මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 33.6%ක් බව

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් මෙම නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මෙසේය.

    2023 මාර්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 49.2%ක් ලෙස වාර්තා විය. 2023 අප්‍රේල් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 12.3%ක හා ආහාර නොවන කාණ්ඩයේ 21.3%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. 2022 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති ඉහළ මිල මට්ටම් ය. කෙසේ වෙතත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2023 මාර්තු මාසයේදී 42.3% සිට 2023 අප්‍රේල් මාසයේදී 27.1% දක්වා අඩුවූ අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)2023 මාර්තු මාසයේදී 54.9% සිට 2023 අප්‍රේල් මාසයේදී 39.0% දක්වා අඩුවිය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2021=100) මාසික වෙනස්වීම සංසන්දනය කලවිට, 2023 මාර්තු මාසයේ 204.8ක් වූ දර්ශකාංකය 2023 අප්‍රේල් මාසයේ දී 202.7ක් දක්වා අඩුවීමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කල විට 2023 අප්‍රේල් මාසයේ දර්ශකාංකය 2.1ක අඩුවීමක් එනම් 1.03ක ප්‍රතිශතාංක අඩුවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ දර්ශක අගය 0.12% කින් වැඩිවීම සහ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය 1.15% කින් අඩුවීම දායක වී ඇත.

    ආහාර කාණ්ඩය සැළකූවිට කුකුළුමස්, අළුත් මාළු, බිත්තර, දෙහි, තේ කොළ/කුඩු, පොල්, අර්තාපල්, අළුත් පළතුරු, සීනි, ඉඟුරු, මුංඇට, ටින්මාළු, අමුමිරිස් සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත. එහෙත් සහල්, කරවල, මිරිස්කුඩු, කිරිපිටි, වියළි මිරිස්, ලොකුළූණු, මයිසූර් පරිප්පු, සාමාන්‍ය පාන්, පාන්පිටි සහ කහකුඩු යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි අඩුවීමක් වාර්තා වී ඇත.

    පසුගිය මාසය හා සංසන්දනය කලවිට, 2023 අප්‍රේල් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය අඩුවීම සඳහා ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ (බුලත්), ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’ (ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය හා එල්.පී. ගෑස්), ‘ප්‍රවාහන’ (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), ‘ආපනශාලා සහ හෝටල්’ සහ ‘විවිධ භාණ්ඩ හා සේවා (සුවඳ සබන් වර්ග)’ යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එහෙත් ‘රෙදිපිළි හා පාවහන්’, ‘සෞඛ්‍ය’ (පෞද්ගලික වෛද්‍ය ගාස්තු), ‘විනෝදාත්මක හා සංස්කෘතික’ (අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය) සහ ‘අධ්‍යාපන’ (පෞද්ගලික උපකාරක පන්ති ගාස්තු) යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇත. එසේ උවත් පසුගිය මාසය හා සංසන්දනය කලවිට ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලෙහි සුළු වැඩිවීමක් වාර්තා වී ඇත. එමෙන්ම ‘සන්නිවේදන’ කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිල අප්‍රේල් මාසය පුරා නොවෙනස්ව පැවති බව වාර්තා වී ඇත.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (පාද වර්ෂය: 2021=100) ලක්‍ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිතර මිල උච්ඡාවචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිබිඹු වන යටිදැරි උද්ධමනය (Core Inflation), 2023 මාර්තු මාසයේ 44.2% සිට 2023 අප්‍රේල් මාසයේදී 31.8% දක්වා අඩුවීමක් වාර්තා විය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.