fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හම්බන්තොට වරායේ 'අපේක්ෂාවේ ගම්මානය' ජනතා අයිතියට

    හම්බන්තොට වරායේ ‘අපේක්ෂාවේ ගම්මානය’ ජනතා අයිතියට

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් නිම කරන ලද “අපේක්ෂාවේ ගම්මානය,” හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර කැන්දගස්මන්කඩ ගම්වාසීන් වෙත නිල වශයෙන් භාර දී තිබේ.

    ප්‍රජා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා පිටියක් ඇතුළු මෙම තිරසාර ප්‍රජා ව්‍යාපෘති රැසකින් සමන්විත මෙම ගම්මානය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ චීනයේ විශාලතම ව්‍යාපාරික ව්‍යවසාය වන චයිනා මර්චන්ට් සමූහයේ (CMG) හි සභාපති මියාඕ ජියැන්මින් මහතා විසින් ජනතා අයිතියට පත්කර ඇත.

    ගම්වාසීන්ගේ යහපැවැත්ම සහ ජීවනෝපාය නඟාසිටුවීම මෙන්ම ව්‍යවසායකත්වය සහ ස්වයංරැකියා අවස්ථා දියුණු කිරීම සඳහා ආරම්භ කරන ලද අපේක්ෂාවේ ගම්මානය, කැන්දගස්මන්කඩ ප්‍රදේශවාසීන් 2,170 කට පමණ ප්‍රතිලාභ සලසන බව හම්බන්තොට ජාත්‍ය්‍යන්තර වරාය බලධාරීන් සදහන් කරයි.

    උත්සවයේදී අදහස් දැක්වූ සභාපති මියාඕ ජියැන්මින් මහතා පැවසුවේ, ඕනෑම සමාගමකට සමූහ ආයතනික මෙහෙවර ඉතාම වැදගත් වන බවයි.

    “අපේක්ෂාවේ ගම්මාන ව්‍යාපෘතිය චයිනා මර්චන්ට් සමූහය සමාජ ප්‍රගතිය සඳහා දී ඇති මූලිකත්වය සනාථ කිරීමක්. තිරසාර සංවර්ධනය පියවරෙන් පියවර ලොව වටා ප්‍රවර්ධනය කරමින්, ස්වභාවධර්මය සමඟ සහජීවනයෙන් ජීවත්වන නවීන සමාජයක් ගොඩනැගීම සඳහා දායක වීම අපගේ අපේක්ෂාවයි.” ලොව විශාලතම බහුජාතික සමූහ ව්‍යාපාරයක් ලෙස ප්‍රසිද්ධියක් දරන CMG, ඔවුන්ගේ ව්‍යාපාරික ජයග්‍රහණ පමණක් නොව, තිරසාර සංවර්ධනය සඳහා ඇති කැපවීම, සිය සාර්ථකත්වයට රුකුලක් වනවා“ යැයි ද ඔහු එහිදී පැවසුවේය.

    අපේක්ෂාවේ ගම්මානය’ විවෘත කිරීම නිමිත්තෙන් කැන්දගස්මන්කඩ ප්‍රාථමික විද්‍යාලයේ පාසල් දරුවන් 150 දෙනෙකුට ගල්විල විහාරස්ථානයේ “සම්මාවායාම” යන සමාජ සත්කාරක පදනම විසින් පාසැල් බෑග සහ පොත් සපයන ලදී. අවශ්‍යතා ඇති ගම්වැසියන් 100 කට වියළි සලාක ඇසුරුම් බෙදා දීමක්ද හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් විසින් සිදු කළේය.

    නිර්මල පදනමේ සභාපති, ඉන්දික අබේවර්ධන, කැන්දගස්මන්කඩ රජමහා විහාරාධිපති ගලපිටගල ප්‍රේමරතන හිමි, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු, එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම යන මහත්වරු සහ කළමනාකාරීත්වයේ සාමාජිකයින් රැසක් මෙම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.